රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරේ වැඩ භාර ගනී
 

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා පසුගිය ජනවාරි 01 වන දින සිට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් රණසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රදානය කරන ලදී. එහිදී නාවික හමුදාධිපතිතුමන් විසින් නව තනතුරේ වැඩ භාර ගත් රියර් අද්මිරාල් රණසිංහ මහතා වෙත සුභපැතුම් එක් කරන ලදී.

ඒ අනුව, මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා පසුගිය (ජනවාරි 03) දින නාවික හමුදා මූලස්ථාන මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී නිල වශයෙන් සිය ධූර‍යේ රාජකාරී අරඹන ලදී. ආගමික වතාවත් වලින් අනතුරුව පැවති චාම් උත්සවයකින් එතුමා නව තනතුරේ වැඩ කටයුතු ආරම්භ කළේය.

රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා කොළඹ, ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. එතුමා 1984 වර්ෂයේ 12 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා විධායක අංශයට එක් විය. මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කර 1986 වසරේ පෙබරවාරි මස 11වන දින උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන එතුමන්, සිය තාක්‍ෂණික උප ලුතිනන් පාඨමාලාව 1986 දී පාකිස්ථානයේ හදාරා ඇත. එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2013 වර්ෂයේ ඔක්තෝබර් මස 04 වන දින ඔහු රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.

ඔහුගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා, ගොඩබැසීමේ යාත්‍රා (Landing Craft) වේග ප්‍රහාරක මුර යාත්‍රා සහ නෞකාවන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, එතුමා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික පුද්ගල, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණු විධායක, අධ්‍යක්‍ෂ නාවික පුහුණු, වයඹ නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරී සිදු කරන ලදි.

එතුමන් දැනට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබන අතර ශ්‍රාස්ත්‍රීය හා පර්යේශණ අධ්‍යයන ශ්‍රේණියෙහි ගුණාත්මක, ප්‍රගමනයක් ඇති කිරීම තුල ශ්‍රී ලංකාව ආසියා‍වේ දැනුම් කේන්ද්‍රය බවට පත්කිරීමේ ජාතික අභිලාශයන් ක්‍රියාවට නැංවීමෙහිලා කැපී‍පෙනෙන මෙහෙවරක් ඉටු කරනු ලැබීය. තවද සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහනය කිරීම තුලින් සයිටම් ගැටලුවට තිරසාර විසදුමක් ලබා දීමෙන් ජාතික වගකීම ඉටුකිරීමෙහිලා අමිල මෙහෙවරක් ඉටු කළේය. එමෙන්ම, රියර් අද්මිරාල් රණසිංහ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කරන ලදී.

තවද, රියර් අද්මිරාල් රණසිංහ මහතා අවස්ථා කිහිපයකදිම පාකිස්ථානය, ඉන්දියාව, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය යන රටවල්වලදී උසස් නාවික පුහුණු පාඨමාලාවන් හදාරා ඇති අතර, ඉන්දියාවේ වෙන්ඩූර්ති වෙතින් සබ්මැරීන නාශක යුධ පුහුණුව සහ සැන්දියාගෝ කොරනාඩෝ දිය සහ ගොඩබිම් කඳවුරේ සමුද්‍රීය ගවේෂණ ඒකකයෙන් දිය සහ ගොඩබිම් යුධ පිළිබඳ විශේෂඥතාව ලබා ගත්තේය. ඔහු ඕස්ට්‍රේලියාවේ වොලන්ගොග් විශ්වවිද්‍යාලයෙන් සමුද්‍රීය නීතිය සහ ප්‍රතිපත්ති පිළිබඳ විශාරද උපාධියක් ලබා ගෙන ඇති අතර, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් තවත් විශාරද උපාධියක් ලබා ගෙන ඇත. එමෙන්ම එතුමන් කොළඹ, විශ්වවිද්‍යාලයේ ගැටුම් සහ සාම අධ්‍යයන පිළිබද පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව කුසලතා සම්මානයක් හිමි කරගෙන ඇත.

1986 වර්ෂයේ සිට ත්‍රස්තවාදය මැරඩලීම සඳහා මුහුදින් සහ ගොඩබිමින් සක්‍රීයව දායකත්වය ලබා දී ඇති අතර, මව්බිම වෙනුවෙන් ඉටු කළ අනගිභවනීය මෙහෙවර වෙනුවෙන් විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම සහ උත්තම සේවා පදක්කම ඇතුළුව පූර්ණ භූමි පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස සංග්‍රාම සමූහ සේවා පදක්කම, 50 වන නිදහස් සැමරුම් පදක්කම, ශ්‍රී ලංකා නාවික හමුදා 50 වන සංවත්සර පදක්කම සහ උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම් ද හිමි කර ගෙන ඇත. තවද, එතුමාගේ මනා කැපවීම සහ මඟපෙන්වීම ඇගයීම සඳහා නාවික හමුදාධිපතිතුමන් විසින් අවස්ථා පහකදී ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර ඇත.

තවද, එතුමාගේ දයාබර බිරිඳ චම්පා ද අල්විස් මැතිනිය වන අතර ඔවුන් හට දියණියන් දෙදෙනෙකු සහ එක් පුතණුවෙකු සිටී.