නාවික හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
 

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (ජනවාරි 09) යුද්ධ හමුදා මුලස්ථානයේදී, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය. එහිදී, යුද්ධ හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් නාවික හමුදාධිපතිතුමා පිළිගත් අතර, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදාධිපති දූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිතුමන් වශයෙන් පත්වීම් ලද අභිනව නාවික හමුදාධිපතිතුමන් වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමන ලදී. ඉදිරි කටයුතු වලදී යුද්ධ හමුදාවේ නොමද සහාය නාවික හමුදාව වෙත ලබා දෙන බව ද ප්‍රකාශ කරන ලද අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා අධ්‍යක්ෂක ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.