ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික පුහුණු කඳවුර වැලිසරදී ආරම්භ වෙයි
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 2019 ජනවාරි 04 වන දින වැලිසර පිහිටි ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී වාර්ෂික පුහුණු කඳවුර ආරම්භ කරන ලදී. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බටහිර නාවික විධානය භාර ආඥාපති සහ ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා සහභාගී විය.

මෙම පුහුණු කඳවුරේ සමාරම්භක දේශනය ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න මහතා විසින් සිදු කළ අතර, එම අවස්ථාව සඳහා ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී, කපිතාන් ටෝනි පෙරේරා මහතා ඇතුළු ස්වේච්ඡා නාවික හමුදා නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. මෙම පුහුණු කඳවුරේ පළමු දේශනය ‘නාවික හමුදාවේ කාර්යභාරය’යන මැයෙන් අධ්‍යක්ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජිව ඩයස් මහතා විසින් සිදු කළ අතර, මෙම පුහුණු කඳවුර ජනවාරි මස 19 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.