ශ්‍රී ලංකා ‍මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන ඉන්දිය ධීවර යාත්‍රා නාවික හමුදා අත්අඩංගුවට
 

පසුගිය ‍ජනවාරි 12 සහ 13 යන දෙදින තුළ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දිය ධිවරයින් 20 දෙනා සහ මුදවා ගත් ධිවරයින් අටදෙනා (08) මේ වන විට අදාල ප්‍රාදේශීය ධිවර පරික්‍ෂක කාර්යාලයන්ට සහ පොලිස් ස්ථාන වෙත භාර දිමට කටයුතු කර ඇත.

මුදවා ගත් ධිවරයින් අතරින් පස් දෙනෙකු (05) මුහුදුබත් වූ ධීවර යාත්‍රාවක සිට මුදා ගෙන ඇති අතර, එය ඉන්දීය ධීවර යාත්‍රා නාවික හමුදා පරිවාරය සමඟ කරෛයිනෙගර් වෙත රැගෙන යන අතරතුර දී එන්ජින් කාමරය තුලට සිදුවු අධික ජල කාන්දුවක් හේතුවෙන් මුහුදුබත් වූ යාත්‍රාවක් බව පසුව අනාවරණය විය.

එමෙන්ම, නාවික හමුදාව මඟින් පෙර දින මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් ප්‍රකෝපකාරි සහ අනාරක්ෂීත නැව් හැසිරිම් සමඟ පලා යෑමට උත්සාහ කිරීමේදි නාවික හමුදාවට අයත් යාත්‍රාවක ද ගැටී මුහුදු බත් වී ඇති අතර මෙමගින් නාවික හමුදාවට අයත් කුඩා යාත්‍රාවකට ද අලාභ හානි සිදු වී ඇත. අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ඉන්දීය ධීවරයින් තිදෙනා (03) නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත් වී ඇති අතර මුදාගත් ධීවරයින් විසින් සිදු කල දැනුම් දීමකට අනූව ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමේදී අනතුර හේතුවෙන් අතුරුදන් වූ ඉන්දීය ධීවරයෙකුගේ මළ සිරුර සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.

මෑතක සිට මේ අකාරයෙන් ශ්‍රී ලංකාවට අයත් දේශ සීමාව උල්ලංඝණය කර අනවසරයෙන් මෙරට මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දිය ධීවර යාත්‍රාවන් ප්‍රකෝපකාරි සහ අනාරක්ෂික නැව් හැසිරිම් මඟින් නාවික හමුදාවට අයත් යාත්‍රා වලට ද අලාභහානි සිදු කොට පලා යෑමට උත්සහකරන බව නිරික්‍ෂණය වේ.

පසුගිය කාල වකවානුව තුල මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා මගින් ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ යෙදෙන දේශීය ධීවරයින්ගේ දැල් හා අනෙකුත් ආම්පන්න රැසකට ද හානි පමුණුවා ඇත.

කෙසේ නමුත් මේ ආකාරයෙන් දේශ සීමා උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල සිදු කරන අනවසර ධීවර කටයුතු මැඩ පැවැත්වීමටත් දේශිය ධිවරයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත් ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරියට‍ත් කටයුතු කරනු ඇත.