සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහන ආරම්භ කෙරේ
 

ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය (Asia pacific Alliance for Disaster Management ) විසින් සොයා ගැනීමේ සහ බේරා ගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක් අද (ජනවාරි 16) නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී බලඝණයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් ‍ප්‍රසන්න හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

තවද, ශ්‍රී ලංකා‍වේ ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානයේ වත්මන් අධ්‍යක්‍ෂක, ගෲප් කපිතාන් (විශ්‍රාමික) ෆර්සාන් හෂීම් මහතා වන අතර, එම සංවිධානය විසින් මෙම පුහුණු වැඩසටහන් නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව, එම පුහුණු වැඩසටහන අද දින සිට එළඹෙන 23 වන දින දක්වා දින 08 ක් පුරා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානය පිහිටි පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය කලපු ප්‍රදේශය ආශ්‍රිතව පැවැත්වෙන අතර, හමුදා සහ සිවිල් වශයෙන් අධියර දෙකක් යටතේ පැවැත්විමට කටයුතු යොදා ඇත.

මෙම පාඨමාලාවේ උපදේශකවරුන් ලෙස ජපානයේ ආසියා පැසිෆික් ආපදා කළමණාකරන සංවිධානය මඟින් ප්‍රවීණ පුහුණුකරුවන් 06 දෙනෙකු ඇතුළුව ශ්‍රී ලංකා නාවික හමුදා උපදේශකවරුන් ද සහභාගි වේ. ඒ අනුව, හමුදා අධියර යටතේ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත සාමාජිකයින් ඇතුළුව යුද්ධ, ගුවන් හමුදාවට සහ පොලිසියට අනුයුක්ත සාමාජිකයින් සහභාගිවන අතර, සිවිල් අධියර යටතේ ස්වේච්ඡා සංවිධාන සහ සිවිල් ජනතාව සහභාගීවිමට නියමිතව ඇත.

මෙහි අවසන් පුහුණු අභ්‍යාසය ශ්‍රී ලංකා ජපන් තානාපතිතුමා, ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්, හේමසිරි ප්‍රනාන්දු මහතා සහ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් එළඹෙන ජනවාරි 23 වන දින ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇත.