අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය නාවික හමුදාධිපතිතුමන් හට බුහුමන් දක්වයි
 

අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලයේ දිප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හට හරසර දැක්වීමේ උත්සවයක් ඊයේ (ජනවාරි 17) අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීය.

එහිදී, විද්‍යාලීය ශිෂ්‍යභට කණ්ඩායමේ විශේෂ සම්මාන උත්තමාචාරයක් මගින් නාවික හමුදාධිපතිතුමන් විද්‍යාලය වෙත පිළිගන්නා ලදී. අනතුරුව විද්‍යාලීය තුර්ය වාදක කණ්ඩායම හා නෘත්‍ය වෘන්දය පෙරටු කරගත් විචිත්‍රවත් පෙරහැරකින් උත්සව ශාලාව වෙත කැඳවාගෙන යන ලද අතර, සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්විමෙන් අනතුරුව උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ කෙරිණි. අනතුරුව විදුහල්පතිතුමන් උත්සව සභාව අමතන ලදී. එම උත්සව අවස්ථාව සඳහා විද්‍යාලීය විදුහල්පතිතුමා සහ ගුරු භවතුන් මෙන්ම සිසු දරු දැරියන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. තවද, විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ පොලිසියේ මෙන්ම ආදි ශිෂ්‍යයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගිවි සිටියහ.

අනතුරුව, උත්සව සභාව ඇමතූ නාවික හමුදාධිපතිතුමා, මෙවැනි උපහාර උත්සවයක් පැවැත්විම සම්බන්ධයෙන් තමා නිහතමානිව සතුටුවන බව පවසමින්, ආදි ශිෂ්‍යයෙකු වශයෙන් විද්‍යාලයට කීර්තියක් ගෙනදිමට සහ මාතෘ භුමිය උදෙසා විශිෂ්ඨ සේවයක් ඉටු කිරීමට ලැබිම ඉමහත් භාග්‍යයක් බවත්, වසර 35 ක නාවික සේවය සමඟින් විජයග්‍රාහි නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා ලෙසත් විද්‍යාලයෙන් බිහිවු ප්‍රථම නාවික හමුදාධිපතිවරයා විමට හැකිවීම පිළිබඳවත් සිය සතුට ප්‍රකාශ කර සිටියේය. තවදුරටත් අදහස් පළ කළ නාවික හමුදාධිපතිතුමා, තමා ලද ජයග්‍රහණ හිමි කර ගැනීමට හැකි වූයේ සියළු ගුරුභවතුන්ගේ මඟපෙන්විම සහ ආශිර්වාදය මත බවත්, තම අධ්‍යාපන කටයුතු සහ විෂ්‍යය බාහිර ක්‍රියාකරකම් මෙන්ම ක්‍රීඩා කෞෂල්‍යන් වර්ධනය කර ගනිමින් අනාගතය ජය ගැනීමට සුදානම් වන ලෙස විද්‍යාලීය දුවා දරුවන් හට පවසන ලදී. අවසන් වශයෙන්, තමා හට පිරි නමන ලද බුහුමන් පිලිබඳව සිය හෘදයංගම කෘතවේදිත්වය විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරුභවතුන් සහ සිසු දරු දැරියන්, අදි ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමා ඇතුළු සියළුම ආදී ශිෂ්‍යයින් වෙත පිරිනමන ලදි.

තවද, ‍මෙම උත්සව අවස්ථාව සනිටුහන් කරමින් විදුහල්පතිතුමා ඇතුළු කාර්යමණ්ඩලය විසින් නාවික හමුදාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිරිනැමීමට කටයුතු කරන ලද අතර, නාවික හමුදාධිපතිතුමා විසින්ද පාසලෙහි විදුහල්පතිතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. අනතුරුව විද්‍යාලයේ ශිෂ්‍යභට ඒකකයේ නිරික්‍ෂණ චාරිකාවාරයක ද නිරත වූ එතුමන්, එහිදි ශිෂ්‍යභට සමරු පොතෙහි සටහනක් තැබිමටද කටයුතු කරන ලදී.

එමෙන්ම ඊයේ සන්ධ්‍යාවේ පාසල් පැසිපන්දු ක්‍රීඩා පිටියේදී විද්‍යාලීය පැසිපන්දු කණ්ඩායම සහ ආදිශිෂ්‍ය කණ්ඩායම අතර සුහද පැසිපන්දු තරඟාවලියක් පැවැති අතර, ඒ සඳහා නාවික හමුදාවේ දක්‍ෂ පැසිපන්දු ක්‍රීඩකයෙක් වන නාවික හමුදාධිපතිතුමා ද සහභාගීවිය. එම අවස්ථාව විද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායමට අත්දැකීම් සමුදායක් එක් කළ විශේෂ අවස්ථාවක් විය. එමෙන්ම, තරඟාවලිය අවසානයේ නාවික හමුදාධිපතිතුමා විසින් විද්‍යාලයේ පැසිපන්දු ක්‍රීඩාව වැඩිදියුණු කිරීමේ අදහසින් පැසිපන්දු ප්‍රදානය කිරීමක්ද සිදු කරන ලදී. තවද අම්බලන්ගොඩ, ධර්මාශෝක විද්‍යාලීය ඉතිහාසයෙහි මෙතෙක් බිහි වූ පළමු නාවික හමුදාධිපතිවරයා ලෙස නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඉතිහාසයට එක් වනු ඇත.