නීති වි‍රෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සහ කළ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට
 

උතුරු නාවික විධානයට සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (ජනවාරි 18) සිදු කළ මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස උතුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, කෝවිලම් ප්‍රදිපාගාරයට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සහ කෝවිලම් ප්‍රදිපාගාරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සැක කටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කොට ඇති අතර, ඒ අනුව එම යාත්‍රා දෙසට නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක බලකායට අයත් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් පිටත් කර යැවිමට කටයුතු කර ඇත. එහිදී ‍අනවසර ලෙස ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය විමට උත්සහ කරන ලද පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇති අතර, කන්කසන්තුරෙයිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත ඔවුන් රැ‍ගෙන ඒමෙන් පසු ප්‍රථමධාර සහ වෛද්‍ය පහසුකම් සැපයිමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් ශ්‍රී ලංකික පුද්ගලයින් බවට හඳුනා ගෙන ඇති අතර, අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් සහ ඩිංගි යාත්‍රා කන්කසන්තුරෙයි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.