මෙරට අත්අඩංගුවේ තිබූ තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 09 ක් යළි ඉන්දියාවට
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගන්නා ලද ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 09 ක් යලි එරටට භාර දීම ඊයේ (ජනවාරි 20) ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සිදු කෙරිණි.

තවද, මෙම ට්‍රෝලර් යාත්‍රා කන්කසන්තුරෙයි, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ ජැටියෙහි නැංගුරම් ලා තිබු අතර, එම ධීවර යාත්‍රා අළුත්වැඩියා කිරීම සඳහා පසුගිය ජනවාරි 17 වන දින ඉන්දියාවට අයත් ඉංජිනේරුවන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී. ඒ අනුව, එම ට්‍රෝලර් ධීවර යාත්‍රාවන්හි අළුත්වැඩියාවන් සිදු කිරීමෙන් අනතුරුව එරට බලා පිටත් වන ලද අතර, එම ට්‍රෝලර් ධීවර යාත්‍රා භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවක් එක් වූහ. ඒ අනුව, ඔවුන් ඊයේ සන්ධ්‍යාවේ කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අමේයා’ නෞකාව වෙත භාර දීමට කටයුතු කෙරිණි.