නීති විරෝධි ලෙස වැලි ප්‍රවාහනය කල පුද්ගලයින් පිරිසක් නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරින් බලඝණයට අයත් නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය, පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (ජනවාරි 24) කන්තලේ දෙහිවත්ත ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.

භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති, අසේල ඉද්දවෙල මහතා, අතිගරු ජනාධිපතිතුමා සමඟ සාකච්ජා කොට මහවැලි ගඟ ආශ්‍රිතව සිදුවන නීති විරෝධි වැලි ජාවාරම් සහ දුෂණ මැඩපැවැත්විමට නාවික හමුදාවේ සහයෝගය ඇතිව කටයුතු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව වර්තමාන නාවික හමුදාධිපතිගේ මඟපෙන්විමට අනුව නාවික හමුදා මැරින් බලඝණයේ අණදෙන නිලධාරි විසින් සිදු කරනු ලැබූ පලමු මෙහෙයුමේදීම මෙම නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

එහිදී, ට්‍රැක්ටර් 04 ක්, ලොරි රථ 01 ක් සහ වැලි තොගයක් නාවික හමුදාභාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින් හා ට්‍රැක්ටර් සහ ලොරි මෙන්ම වැලි තොගය නීතිමය කටයුතු සඳහා මුතූර් පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

පසුගිය ජනවාරි 06 වන දින ද මඩකළපුව, කළුදවේලි ප්‍රදේශයේ දී මෙවැනිම අනවසර වැලි ජාවාරම්කරුවෙකු කොටු කර ගැනීමට නාවික හමුදාව සමත් විය.