ශ්‍රී ලංකා වෙළාරක්‍ෂක බලකායට ඕස්ට්‍රේලියාවෙන් යාත්‍රා ත්‍රිත්වයක් ප්‍රදානය කෙරේ
 

ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායට යාත්‍රා ත්‍රිත්වයක් (03) ප්‍රධානය කිරීමේ උත්සවය අද (ජනවාරි 25) කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතන පරිශ්‍රයේදී සිදු කරන ලදී. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජේවර්ධන මහතා සහභාගි වූ අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ද එම අවස්ථාව සඳහා සහභාගී විය.

ඒ අනුව, යාත්‍රා ත්‍රිත්වය භාර දීමේ සහ භාර ගැනීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් එම අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජේවර්ධන මහතා සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේනතුවේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා සහභාගී වූ අතර, ඕස්ට්‍රේලියානු රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු බ්‍රයිස් හච්සන් මහතා සහභාගී විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ඇතුළු නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය නියෝජන කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගිවි සිටියහ.