අවසරපත් නොමැතිව වැලි පැටවූ පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරීන් බලඝණයට අයත් නාවිකයින් පිරිසක් සහ සර්ධාපුර, පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් එක්ව ඊයේ (ජනවාරි 25) කන්දල්කාඩු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී අවසරපත් නොමැතිව මහවැලි ග‍ඟේ වැලි පටවමින් හා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී, ඔවුන් සතුව තිබී ටිපර් රථ 02 ක් සහ වැලි කියුබ් 06 ක් නාවික හමුදාව භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින්, ටිපර් රථ සහ වැලි කියුබ් ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා කින්නියා, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, ඊයේ (ජනවාරි 25) උදෑසන ද කන්තලේ, දෙහිවත්ත ප්‍රදේශයේ දී මෙවැනිම අනවසර වැලි ජාවාරම්කරුවන් 06 දෙනෙකු කොටු කර ගැනීමට නාවික හමුදාව සමත් විය.

භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිතුමාගේ සහ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව මහවැලි ගඟ ආශ්‍රිතව සිදුවන නීති විරෝධී වැලි ජාවාරම් සහ දුෂණ මැඩපැවැත්විමට නාවික හමුදාවේ සහයෝගය ඇතිව කටයුතු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව වර්තමාන නාවික හමුදාධිපතිතුමාගේ මඟපෙන්විම අනුව මෙවැනි නීති විරෝධී වැලි ජවාරම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇත.