234 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 329 දෙනෙකු විසිර යති.
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 234 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 329 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (ජනවාරි 26) විසිර යන ලදී. බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා සහභාගී විය.

ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ආඥාපති සහ දකුණු විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා, ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නාවික‍ නෞකා නිපුණ ආයතනයට අනුයුක්ත නාවිකයින් රැසක්ද, ප්‍රදේශයේ යුද්ධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අනුයුක්ත නිලධාරින් මෙන්ම විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගීවි සිටියහ.

තවද, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රධානයක්ද සිදු කෙරුණු අතර, එහිදී 234 වන බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයා සහ සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයා වශයෙන් ආධුනික නැවි එල්පීඅයි සමින්ද නාවිකයා කුසලාන හිමි කර ගන්නා ලදී. ආධුනික නැවි පීඑච්පීසීඑස් ලක්ප්‍රිය නාවිකයා හොඳම ඉලක්කකරුට හිමි කුසලානයට හිමිකම් කීවේය. මීට අමතරව ආධුනික නැවි ජීඑච්එස්යූ ද සිල්වා නාවිකයා හොඳම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනාගන්නා ලද අතර, 234 වන බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමිවන කුසලානය ‘සුරනිමිල’ අංශය හිමි කර ගැනීමට සමත්වන ලදි.

එමෙන්ම, 234 වන බඳවා ගැනීමට අයත් නාවිකයින්ගේ ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සහ නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ සංස්කෘතික සංදර්ශණයකින්ද මෙම විසිර යාමේ පෙළපාලිය සමන්විත විය.