කොළඹ නාවික අභ්‍යාසය - CONEX සාර්ථකව නිමාවට පත්වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම වර්ෂයේ සිට වාර්ෂිකව පැවැත්වීමට සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) අද (ජනවාරි 29) සාර්ථකව නිමාවට පත්විය. වරාය ආශ්‍රිතව සිදුකරන මෙහෙයුම් හා මුහුදේදී සිදුකරන මෙහෙයුම් වශයෙන් අදියර දෙකක් යටතේ පුරා දින 4 ක් පැවති මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවන් වන ශ්‍රී ලංකා නාවික නෞකා සිදුරළ, සාගර, සමුදුර, ප්‍රතාප, සුරනිමිල, මිහිකත සහ රත්නදීප යන නෞකාවන්, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක නෞකාවන් වන සුරක්‍ෂා සහ සමුද්‍රරක්‍ෂා යන නෞකාවන් ඇතුළුව නාවික හමුදා ‍වේග ප්‍රහාරක යාත්‍රා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා එක්වන ලදී.

මෙහිදී නෞකාවන් කණ්ඩායම් වශයෙන් හැසිරවීමේ අභ්‍යාස, මුහුදු බෝම්බ තැන්පත් කර ඇති අවස්ථාවක ජලයේ නිරුපද්‍රිතව යාත්‍රා කිරීම, මුහුදේදී සැපයුම් අවශ්‍යතා සම්පාදනය කර ගැනීම, මුහුදේදී රාත්‍රී වෙඩි පුහුණුව, මුහුදේදී පුද්ගලයින් හා භාණ්ඩ හුවමාරුව, අනතුරටපත් නෞකාවක් ඇදගෙන යාම සහ සංඥා හුවමාරු ක්‍රම ආදී වූ අභ්‍යාසයන් සිදු කරන ලදී. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවක් උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් තුලින් රෝගියෙකු නිරුපද්‍රිතව ලබා ගැනීමේ අභ්‍යාසය එහිදී සිදු කරන ලද අතර, එම හෙලිකොප්ටර් යානාව මඟින් රෝගීයා නිරුපද්‍රිතව ලබා ගැනීමේ අභ්‍යාසය ඉතා සාර්ථකව නිම කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයින් සමත් විය. මේ අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් මෙන්ම ගුවන් හමුදා ගුවන් නියමුවන් ද දැඩි උනන්දුවකින් සහභාගී වන ලදී. ඒ අනුව, කලාපයේ සාගරික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගැනීමට මෙන්ම පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම සාගරික අභ්‍යාසය ඉතා වැදගත් විය.

මෙවැනි සුවිශේෂි ඒකාබද්ධ අභ්‍යාසයන් සිදු කිරීම තුලින් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර අන්න්‍යෝන්‍ය අවබෝධය තව දුරටත් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන අතර, අනාගතයේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපයේ සාගරික ආරක්ෂාව ස්ථාවරව පවත්වා ගැනීම සඳහා ගුවන් හමුදාව සමඟ ඒකාබද්ධව මෙහෙයුම් සිදු කිරීමට මෙමඟින් මහත් පිටිවහලක් සැළසෙනු ඇත.