ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් සීෂෙල්ස් රාජ්‍යයට
 

වැලිසර නාවික කඳවුරේ පිහිටුවා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපලෙහි (Inshore Patrol Craft Construction Project) නිෂ්පාදනය කරන ලද වේව් රයිඩර් වර්ගයේ යාත්‍රා දෙකක් (02) සීෂෙල්ස් රාජ්‍යය වෙත භාර දීමේ උත්සවය අද (පෙබරවාරි 01) කොළඹ, වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කෙරිණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සාමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ සීෂෙල්ස්හි උප ජනාධිපති, අතිගරු වින්සන්ට් මෙරිටන් මහතා සහභාගි විය.

ඒ අනුව, මෙම යාත්‍රා දෙක (02) අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් සීෂෙල්ස් රාජ්‍යයයේහි උප ජනාධිපති, අතිගරු වින්සන්ට් මෙරිටන් මහතා වෙත භාර දීම සිදු කරන ලද අතර, එම අවස්ථාව සඳහා සීෂෙල්ස් රජය නියෝජනය කරමින් සීෂෙල්ස් වෙරළාරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ‍ක‍ර්නල් සයිමන් ඩයින් මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා සහභාගී විය.

තවද, වැලිසර පිහිටි නාවික හමුදා යාත්‍රා නිෂ්පාදන වැඩපලෙහි නිපදවනු ලබන යාත්‍රා අන්තර්ජාතික ප්‍රමිතිකරණයන් සහිතව නිෂ්පාදනය කරනු ලබන අතර, එය මුළුමනින්ම ශ්‍රී ලංකා නාවික හමුදා තාක්ෂණය භාවිතයෙන් හා නාවික ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව, 2016 වර්ෂයේදී ද නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද යාත්‍රා කිහිපයක් නයිජිරියානු රාජ්‍ය වෙත ලබා දීමට ද කටයුතු කරන ලදී. එමෙන්ම සීෂෙල්ස් රාජ්‍ය වෙත භාර දෙන ලද මෙම නාවික යාත්‍රා 2018 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදා ඉංජිනේරුවන්ගේ තාක්ෂණ ප්‍රයෝජනයට ගනිමින් ඉතා කෙටි කාලයක් තුළ මෙම යාත්‍රා නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබී ඇත.

‍මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් මහකොමසාරිස් අතිගරු කොන්රඩ් මෙඩෙරික් මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, ගුවන් හමුදාධිපති, එයර් මාර්ෂල් කපිල ජයම්පති මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, අධ්‍යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා මෙන්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවින්ද්‍ර රණසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙන්ම නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් ද සහභාගිවි සිටියහ.