කිලෝග්‍රෑම් 11 කට අධික රත්‍රං සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජනවාරි 02) කල්පිටිය, කුඩාව මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 11 කට අධික රත්‍රං තොගයක් සමඟ ශ්‍රීලාංකික පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත් විය.

අත්අඩංගුවට පත් පුද්ගලයින් කල්පිටිය, කුඩාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 සහ 29 වන වියෙහි පසුවන පුද්ගලයින් ‍බව හඳුනාගෙන ඇති අතර, රත්‍රං ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා ලද ඩිංගි යාත්‍රාවක් ද එහිදී නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයන්, රත්‍රං තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ, රේගු නිලධාරී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන මෙහෙයුම් කටයුතු හේතුවෙන් පසුගිය වසර තුළ පමණක් නිතී වි‍රෝධී අයුරින් මෙරටට ගෙන ඒමට උත්සහ කළ රත්‍රං කිලෝග්‍රෑම් 62 අධික ප්‍රමාණයක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමට සමත් ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවට අයත් මුහුදූ සීමාවේ සිදු කරනු ලබන නීති විරෝධි කටයුතු මැඩපැවත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටී.