71 වන ජාතික දින සැමරුම් උත්සවය
 

කොළඹ ගාලු මුවදොර පිටියේ අද (පෙබරවාරි 04) උදෑසන අති උත්කර්ශවත් අයුරින් පැවැති 71 වන ජාතික දින සැමරුම් උත්සවය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සුවිශේෂී දායකත්වයක් සැපයිණි. එම උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තෙකු වශයෙන් මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රහිම් මොහමඩ් සෝලිස් මැතිතුමා ද සහභාගී විය.

ජාතික දින සැමරුම් උත්සවය සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රධාන ආගමික නායකයින්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, හිටපු ජනාධිපති, ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා, කථානායක, දේශබන්දු කරු ජයසුරිය මැතිතුමා, අගවිනිසුරු නලින් පෙරේරා මැතිතුමා, අභ්‍යාන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ගරු වජිර අබේවර්ධන මැතිතුමා, බස්නාහිර පළාත් අණ්ඩුකාර, ගරු එම්. අසාද් එම්. සාලි මැතිතුමා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය, ගරු ඉසුරු දේවප්‍රිය මැතිතුමා, ජනාධිපති ලේකම්, උදය රංජිත් සෙනෙවිරත්න මහතා, අග්‍රමාත්‍ය ලේකම්, සමන් ඒකනායක මහතා, ආරක්‍ෂක ලේකම්, ගරු ‍හේමසිරි ප්‍රනාන්දු මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, ගුවන් හමුදාධිපති, එයර් මාර්ෂල් කපිල ජයම්පති මහතා, පොලිස්පති, පූජිත් ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හා රජයේ උසස් නිලධාරීන් මෙන්ම දිවයිනේ නන් දෙසින් ඉතා විශාල ජන පිරිසක් සහභාගිවී සිටියහ.

අතිගරු ජනාධිපතිතුමන් විසින් නාවික හමුදා වාද්‍ය වෘන්දය මගින් ලබා දෙන මගුල් බෙර වාදනය සහ සක් හඬ මධ්‍යයේ ජාතික ධජය එසවීමත් සමග ජාතික දින සැමරුම් උළෙල ආරම්භ කෙරුණු අතර, එම අවස්ථාව සඳහා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩිය සූදානම් කිරීම නාවික හමුදාවේ සංඥා අංශයේ නාවිකයන් විසින් සිදු කෙරිණි. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් එකසිය දහ දෙනෙකු විසින් නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ වාදනයට අනුව ජාතික ගීය ගායනා කිරීම ද එහිදී සිදු විය. ආචාර වෙඩි මුර 21 කින් ගෞරව දැක්වීමෙන් පසු සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ජාතිය අමතන ලදී.

ජාතික දින උළෙලේ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කොමදෝරු ජයන්ත ගමගේ පෙර ගමන් රථයේ ගමන් කරනු ලැබූ අතර, කොමාණ්ඩර් සුදන්ත පෙරේරා විසින් නාවික හමුදා ඛණ්ඩයට අණදීම සිදු කරන ලදී.

නාවික හමුදා පෙළපාලිය, මූලස්ථාන බලඝණය, නාවික දියත් විධානය, විශේෂ යාත්‍රා බලඝණය, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ, මැරීන් බලඝණය සහ කාන්තා නාවික යන බලඝණයන්ගෙන් සැදුම්ලත් අංශ 6 කින් සමන්විත විය. ජාතික උළෙලේ ආචාර පෙළපාලියට නීල, ශ්වේත සහ සංග්‍රාමික නිල ඇඳුමින් සැරසුනු නාවික පුද්ගලයන් 1033 දෙනෙකු එක් වුණු අතර, නාවික හමුදා වාදක කණ්ඩා‍යමේ රණ ගී වාදනයට අනුව ඔවුන් උදාර ලෙස පෙළපාලියේ ගමන් කරන ලදී. ජාතියට ලබා දෙන විශිෂ්ඨ සේවය අගයමින් නාවික හමුදා මූලස්ථානය, නැගෙනහිර, උතුරු, දියත් විධානයන්ට සහ නාවික හා සාගරික විද්‍යාපීඨයට පිරිනමන ලද ජනාධිපති වර්ණ මහත් අභිමානයෙන් යුතුව රැගෙන යමින් නාවික හමුදාව එම පෙළපාලියේදී තම ප්‍රෞඩත්වය විදහා දැක්වීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සියළුම අංශයන් නියෝජනය කරමින් නාවික හමුදා මූලස්ථාන බලඝණය ආචාර පෙළපාලියේ පෙරමුනින් ගමන් කළ අතර, ලුතිනන් කොමාණ්ඩර් අජිත් ජයසේකර විසින් ඒ සඳහා අණදෙනු ලැබිණි. ‘දළ රළ පරයා පෙරට’ යන ආදර්ශ පාඨය ය‍ටතේ බාහිර සතුරු උවදුරු වලින් සහ සාගරික ත්‍රස්තවාදයෙන් දේශය ආරක්ෂා කිරීම සඳහා සුවිශේෂී කාර්යයභාරයක් ඉටු කළ නාවික හමුදා දියත් විධානයේ නෞකාවන් හා යාත්‍රාවන් නියෝජනය කරමින් 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණය සහ වේග ප්‍රහාරක නෞකා බලඝණයට අයත් නාවිකයන් ලුතිනන් කොමාණ්ඩර් රොෂාන් කුලතුංග ගේ නායකත්වය යටතේ ආචාර පෙළපාලියේ ගමන් ගන්නා ලදී.

“විකුමතියට භාග්‍ය ප්‍රසාදිනිය වේ” යන ආදර්ශ පාඨය ය‍ටතේ මහ සයුරේ මෙන්ම ගොඩබිමෙහි හා ගුවනේ සුවිශේෂී සංග්‍රාමික සටන් ක්‍රම පිළිබඳ විශිෂ්ඨයන් වන විශේෂ යාත්‍රා බලඝණය සඳහා ලුතිනන් කොමාණ්ඩර් චාමර ලියනගේ අණදීම සිදු කෙරිණි. ‘අනන්තයට එහා දිවෙන විජයග්‍රහණයක් කරා’යන්න ආදර්ශ පාඨය කරගත් මුහුණට මුහුණලා සිදු කෙරෙන මුහුදු සංග්‍රාමයන්ගෙන් නිපුණ, සාම්ප්‍රදායික නාවික සංග්‍රාමයන්ට කුඩා යාත්‍රා සංකල්පය හඳුන්වා දුන් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය ලුතිනන් කොමාණ්ඩර් දිමුතු දේශප්‍රියගේ අණදීම යටතේද, “ශක්තියෙන් නිර්භිතව ජයග්‍රහණය කරා” යන්න ආදර්ශ පාඨය කරගත් භු ජලතරණ මෙහෙයුම්, මුදවා ගැනිමේ මෙහෙයුම් නගරබද සටන් සහ ගංගා ආශ්‍රිත මෙහෙයුම් සදහා විශේෂ පුහුණුවක් ලබා ඇති මැරීන් බලඝණය සඳහා ලුතිනන් කොමාණ්ඩර් යාපා ජයසිංහ අණදෙනු ලැබීය.

වෛද්‍ය, සංඥා, සැපයුම්, තොරතුරු තාක්ෂණ සහ ස්වේච්ජා යන අංශවල මෙන්ම ක්‍රියාන්විත රාජකාරී වල යෙදෙමින් දේශයට මහඟු සේවාවක් ඉටු කළ කාන්තා නාවිකයන්ගේ බලඝණය ලුතිනන් කොමාණ්ඩර් තෙරංගා කොඩිසිංහ යටතේ ජාතික දින ආචාර පෙළපාලිය සඳහා එක් විය. එමෙන්ම ජාතික දින අචාර පෙළපාලිය ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ප්‍රධාන තාක්ෂණික අවි සහ උපාංග ප්‍රදර්ශණය කෙරෙන අභිමානවත් රථ පෙළපාලියකින් සමන්විත වූ අතර, කොමාණ්ඩර් කැළුම් ප්‍රනාන්දු එහි පෙර ගමන් රථයේ ගමන් කරන ලදි.

ජාතික දින සැමරුම් උත්සවයට විචිත්‍රවත් බවක් එක් කරමින් සිදු කෙරුණු පැරෂුට් සංදර්ශණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා ධජය රැගෙන කොමාණ්ඩර් ධර්මසිරි හේරත් ගාලු මුවදොර පිටියට පතිත විය. ඉන් අනතුරුව විශේෂ යාත්‍රා බලඝණයේ සුළු නිලධාරී ජීසීඑම්කේ ගීකියනගේ සහ සුළු නිලධාරි ඩබ්ඒ සිරිවර්ධන ඒ සඳහා එක්වීය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව පෙරටුකොට ගනිමින්, ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ පසුගිය වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අලුතින්ම එක්වු ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාවද මිසයිල ප්‍රහාරක නෞකාවන් සමඟ වේග ප්‍රහාරක මුර නෞකාවන් ද 4 වන වේග ප්‍රහාරක බලඝණයේ වේග ප්‍රහාරක යාත්‍රා ද ගාලු මුවදොරට ඔබ්බෙන් වූ මුහුදේ යාත්‍රා කරමින් අතිගරු ජනාධිපතිතුමන් වෙත සිය නෞකා ආචාරය පුද කරන ලදී. මෙම නෞකා සමුහයට කපිතාන් ඩේමියන් ප්‍රනාන්දු අණදෙනු ලැබූ අතර, 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ වේග ප්‍රහාරක යාත්‍රා සමූහය එහි අණදෙන නිලධාරී ‍කපිතාන් සංජිව ප්‍රේමරත්න විසින් මෙහෙයවනු ලැබීය.