නාවික හමුදාව ජාතික දිනය වෙනුවෙන් වෙඩිමුර උත්තමාචාර 25 ක් පවත්වා ජාතිය වෙත උපහාර දක්වයි
 

71 වන ජාතික දින සැමරුම් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙත පිදෙන වෙඩිමුර උත්තමාචාරය මෙවරත් නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී අද (පෙබරවාරි 04) 1200 පැයට අභිමානවත් ලෙස සිදු කෙරිණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් හා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ මඟපෙන්වීම මත සිදු කෙරුණු, මෙම වෙඩි මුර උත්තමාචාරය මෙහෙයවන ලද්දේ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අවි නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් ශාන්ත අඹන්වෙල මහතා විසිනි. ඒ සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් මහේෂ් ද සිල්වා මහතා සහ විධායක නිලධාරි, කොමාණ්ඩර් සුධිර ධර්මදාස මහතා ද එක්වී සිටියහ.

දිවයින වටා වූ මහ සයුර ආරක්ෂා කරමින් මාතෘ භූමියේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, ජාතික දිනය නිමිත්තෙන් ජාතිය වෙනුවෙන් පුද කරනු ලබන මෙම ආචාර වෙඩි මුර චාරිත්‍රය උත්කර්ශවත් අයුරින් පැවැත්වීම සඳහා කැපවී කටයුතු කරනු ලබයි.

තවද, මුල්ම වතාවට ජාතික දිනයක් වෙනුවෙන් මෙම වෙඩි මුර උත්තමාචාරය පවත්වා ඇත්තේ 1948 වර්ෂයේ දී වන අතර, එහි දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ආචාර වෙඩි මුර 15 ක් ගාලු මුවදොර පිටියේ දී පවත්වා ඇත. 1949 වර්ෂයේ දී ද මෙම ආචාරය පවත්වා ඇති අතර, එය සිදුකර ඇත්තේ විජය නෞකාවේ දී ය. එහි දී එක් අවියක් පමණක් උපයෝගී කර ගනිමින් වෙඩි මුරයන් අතර කාල පරතරය විනාඩියක් ලෙස පවත්වා ගනිමින් මෙම ආචාරය සිදු කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. විජය නෞකාව අධිකාරියෙන් ඉවත් කොට භාවිතයෙන් ඉවත් කිරීමෙන් පසුව කොළඹ වරාය තුළ Galle Buck Bay නැමැති ස්ථානයේ මෙම අවි 03 ක් සවිකොට තිබුණි. නමුත් මෑත කාලයේ දී කොළඹ වරාය සීඝ්‍ර සංවර්ධනයකට හා පුළුල් කිරීමකට ලක් වූ බැවින් 2000 වර්ෂයේ දී එම අවි වර්තමානයේ පවතින ප්‍රදීපාගාරය අසලට ගෙනවිත් සවි කොට ආචාර වෙඩි මුර පවත්වා ඇත. එතැන් සිට අද දක්වාම නොකඩවා චාරිත්‍රයක් වශයෙන් ජාතික දින සැමරුම් උත්සවයට සමගාමීව ජාතිය වෙත ආචාර දැක්වීම සඳහා ‍නාවික හමුදාව විසින් මෙකී කාර්යය සිදු කරනු ලබයි.