නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපතිතුමා ඇතුළු දූත පිරිසක් ඉන්දියානු නාවික හමුදාවේ සංචාරයක
 

ඉන්දියානු නාවික හමුදාවේ අරාධනයකට අනුව ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාය මහතා ඇතුළු ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජිතයින් පිරිසක් පසුගිය ජනවාරි 21 සිට 25 වන දින දක්වා ඉන්දියානු නාවික හමුදාවට අයත් විද්‍යාපිඨයන්හි සංචාරයක නිරත විය. ඒ අනුව, ඉසිමලා හි පිහිටි ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨය (Indian Naval Academy) මෙන්ම ඉන්දියානු නාවික හමුදාවේ දකුණු විධානයට අයත් ඉන්දියානු නාවික නෞකා වෙන්ඩුරුති හා ඉන්දියානු නාවික නෞකා ඩ්‍රෝනචර්යා යන පුහුණු පාසල් නිරීක්ෂණය සඳහා එක් වන ලදී. එහි ප්‍රධාන අරමුණ වූයේ ඉන්දියානු නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන පුහුණු ක්‍රම, නිලධාරි පුහුණුව සම්බන්ධව ක්‍රියා පටිපාටීන් සහ විධායක ‍අංශයට අයත් නිලධාරින් වෙනුවෙන් පවත්වනු ලබන විශේෂිත පාඨමාලා සම්බන්ධයෙන් අධික්‍ෂණය කිරීමයි.

ඒ අනුව, ප්‍රථමයෙන්ම ඉන්දියාවේ ඉසිමලා හි පිහිටි ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨය වෙත ගිය ශ්‍රී ලංකා නාවික හමුදා දූත පිරිස එහි ආඥාපති, වයිස් අද්මිරාල් ආර්බී පණ්ඩිත් මහතා, නියෝජ්‍ය ආඥාපති, රියර් අද්මිරාල් පුනේට් චෘදා මහතා සහ විද්‍යාපීඨයේ විද්‍යාලාධිපති, රියර් අද්මිරාල් අමිත් වික්‍රම් මහතා හමු වි සුහඳ පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.

අනතුරුව, විද්‍යාපීඨයේ නියෝජ්‍ය ආඥාපතිතුමා විසින් ශ්‍රී ලංකා දූත පිරිස වෙත විද්‍යාපීඨයේ පුහුණුවන නිලධාරින් වෙනුවෙන් සිදු කරනු ලබන එළිමහන් පුහුණු කිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර, පසුව පුහුණුවන නිලධාරින්ගේ පුහුණු පහසුකම් සහ ක්‍රීඩා කටයුතු සම්බන්ධයෙන් නිරික්‍ෂණයක නිරත වන ලදී. තවද, ඉන්දියානු නාවික හමුදා විද්‍යාපීඨය තුළ පාඨමාලාවන් හදාරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදා පුහුණුවන නිලධාරින් පිරිසක් හමුවිමට ද ආඥාපති, කොමදෝරු කළණ ඡිනදාස මහතා ඇතුළු දූත පිරිස කටයුතු කරන ලද අතර, එහිදී පාඨමාලාවන් සාර්ථකව නිමා කරන ලෙස ආඥාපතිතුමා ඔවුන් හට උපදෙස් ලබා දෙන ලදී.

අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදා දූත පිරිස ඉන්දියාවේ කොච්හි පිහිටි දිය යට සංග්‍රාමික පාසල, මාලිමා සහ දිශා පාසල, අවි පාසල, සංඥා පාසල, නාවික ගුවන් පාසල, සාගර විද්‍යා සහ කාලගුණ විද්‍යා පාසල සහ කිමිදුම් පාසල මෙන්ම සමුද්‍ර ආරක්‍ෂණ මධ්‍යස්ථානය, අධ්‍යාපන හා පුහුණු කිරීමේ නාවික අධ්‍යාපන ආයතනය, නායකත්ව හා චාර්යාත්මක අධ්‍යයන මධ්‍යස්ථානයන් තුල පවත්වාගෙන යනු ලබන පාඨමාලාවන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා අදාල පාසැල් සහ මධ්‍යස්ථානයන්හි නිරික්‍ෂණ චාරිකා වාරයක නිරත වූ අතර, එහි මුලික අරමුණ වූයේ නාවික හා සාගරික විද්‍යාපීඨය තුල දීර්ඝ කාලීන විශේෂඥ පාඨමාලා පැවැත්විම සඳහා පුහුණු ආධාර ලබාගැනීමේ හැකියාව සොයා බැලීමයි.

තවද, ආඥාපති, කොමදෝරු කළණ ඡිනදාස මහතා ඉන්දියානු නවික හමුදා දකුණු නාවික විධානයේ ධජ නිලධාරි අණදෙන ප්‍රධානී, වයිස් අද්මිරාල් අනිල් කුමර් මහතා, ප්‍රධාන මාණ්ඩලික නිලධාරි (පුහුණු), රියර් අද්මිරාල් ක්‍රිෂාන් ස්වාමිනාදන් මහතා සහ ඉන්දියානු නාවික හමුදා දකුණු නාවික විධාන මුලස්ථානය භාර මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ආර්ජේ නාද්කරනී මහතා හමුවි සුහද පිළිඳරක නිරත විය.