යාපනය ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික නාවිකයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (පෙබරවාරි 08) සහ අද දින උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වූ අතර, එහිදී යාපනය ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා ‍විශ්‍රාමික නාවිකයින් පිරිසක් නාවික හමුදාධිපතිතුමා හමු විය. එම හමුවීම ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ නාවික මැදුරේදී සිදු කෙරුණි.

එහිදී, එම විශ්‍රාමික නාවිකයින් විසින් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිතුමන් වශයෙන් පත්වීම පිළිබඳව සුභපැතුම් එක් කරන ලද අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. එම හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමා විසින් විශ්‍රාමික නාවිකයින් හට ත්‍යාග ප්‍රදානයක් ද සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා විශ්‍රාමික නාවිකයින්ගේ භාර්යාවන්, උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ, උතුරු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නිලන්ත හීනටිගල, විධාන ගොඩබිම් මෙහෙයුම් (උතුරු) සහ මහජන සම්බන්ධීකරණ නිලධාරි (උතුරු), ‍කොමාණ්ඩර් සංජිව කොඩිකාර මහතා සහභාගි විය.