ජෙලට්නයිට් කූරු 54 ක් සමඟ සැකකරුවකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (පෙබරවාරි 09) කින්නියා ප්‍රදේශයේදී ජෙලට්නයිට් කූරු කිලෝග්‍රෑම් 7.56 ක් (කූරු 54ක්) සහ අඩි 50.6 ක් දිගැති ආරක්‍ෂිත වෙඩි නුලක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගන්නා ලදී. නීති වි‍රෝධී ලෙස මසුන් ඇල්ලීම සිදු කරනු ලබන ධීවරයින් සඳහා මෙම පුද්ගලයා විසින් පුපුරණ ද්‍රව්‍ය ජාමාලියා, නිලාවේලි සහ එරක්කන්ඩි යන ප්‍රදේශ වෙත බෙදාහැරිමට කටයුතු කරන බවට තොරතුරු ලැබි ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 36 ක් වන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා සහ ජෙලට්නයිට් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්ධන ඒකකය විසින් කින්නියා, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.