නාවික හමුදාධිපතිතුමන් උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පෙබරවාරි 08 සහ 09 වන දින උතුරු නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඒ අනුව පෙබරවාරි 08 වන දින නාවික හමුදාධිපතිතුමන් නාගදීප පුරාණ රජමහා විහාරය වැඳ පුදා ගැනීමට කටයුතු කළ අතර, එහිදී, නාවික හමුදාධිපතිතුමා නාගදීප රජමහා විහාරාධිපති උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක ප්‍රවීනාචාර්ය පුජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුව දුක් විමසා ආශිර්වාද ලබා ගන්නා ලදී. අනතුරුව ඩෙල්ෆ් දුපතේ පිහිටා ඇති ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයේ රේඩාර් මාධ්‍යස්ථානයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වූ එතුමන් ආයතනයට අනුයුක්ත නාවිකයින් ඇමතීමට කටයුතු කරන ලදී. අනතුරුව එම ආයතනයේ පිහිටා ඇති නාවික මැහුම් මධ්‍යාස්ථානයෙහි නිරික්‍ෂණ චාරිකාවක නිරත වන ලද අතර, එහි සේවක කාර්යමණ්ඩලය විසින් නාවික හමුදාධිපතිතුමා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඒ අනුව ඔවුන් විසින් සුදානම් කර තිබූ උත්ස්වයකට සහභාගි වූ එතුමන් එම කාර්ය මණ්ඩලය ඇමතීමට ද කටයුතු කරන ලදී. එහිදී සේවක මණ්ඩලය විසින් නාවික හමුදාධිපතිතුමා වෙත ත්‍යාග ප්‍රදානයක් ද සිදු කරන ලදී. එදින අවසන් අවස්ථාව ලෙස නාවික හමුදාධිපතිතුමා යාපනය රදගුරු අති උතුම් ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් හිමිපාණන් වහන්සේ බැහැදැක හිමිපාණන් වහන්සේගේ සුව දුක් විමසා ආශිර්වාද ලබා ගන්නා ලදී.

සංචාරයේ දෙවනි දිනය වූ පෙබරවාරි 09 වන දින ප්‍රථමයෙන්ම නාවික හමුදාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ‍ආයතනයේ පිහිටි නාවික මැදුරේදි අඹ පැලයක් රෝපණය කිරීමට කටයුතු කරන ලදී. අනතුරුව උතුරු නාවික විධානයට අයත් සියළුම නෞකා, යාත්‍රා සහ ආයතන වලට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ අංශ පිරික්‍ෂුමක් පැවැති අතර, පසුව එතුමන් විධාන නිලධාරි නිවාසයේදී විධානයට අනුයුක්ත සියළුම නිලධාරින් ඇමතීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව උතුරු නාවික විධානයේ කාර්ය භාර්ය පිළිබඳව නාවික හමුදාධිපතිතුමා දැනුවත් කිරීමේ වැඩසටහනක් විධාන සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විය. සංචාරයේ අවසන් අවස්ථාව ලෙස උතුරු නාවික විධානයට අනුයුක්ත නෞකා සහ යාත්‍රාවන්ගේ නිරික්‍ෂණ චාරිකා වාරයක නිරත වූ එතුමන් නෞකා සහ යාත්‍රාවලට අනුයුක්ත නාවික පුද්ගලයින් ඇමතීමට කටයුතු කරන ලදී. පසුව සමුහ ජායාරූපයකට ද එක්වූ එතුමන් සිය උතුරු නාවික විධාන සංචාරය නිමාවට පත් කරන ලදී.

තවද, මෙම අවස්ථාවන් සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත ‍සියළුම දෙපාර්ථමේන්තු ප්‍රධානීන් සහ අණදෙන නිලධාරින් සහභාගිවි සිටියහ.