ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ රාජකාරි නියුතු අධිකාරී නොලත් නිලධාරින් වෙනුවෙන් පවුල් සුහද හමුවක්

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ අදහසකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට අනුයුක්ත ත්‍රිවිධ හමුදා අධිකාරී නොලත් නිලධාරින් සඳහා පවුල් සුහද හමුවක් පසුගිය‍ පෙබරවාරි 09 වන දින උස්වැටකෙයියාව, නාවික හමුදා මාලිමා උත්සව ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් අධිකාරී නොලත් නිලධාරින් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.

එහිදී ප්‍රථමයෙන්ම අදහස් දැක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් විසින් මෙම අවස්ථාවට පැමිණි සියළුම පවුල්වල සාමාජිකයින් ‍පිලිගන්නා බවත්, දශක තුනක් තිස්සේ රට මුහුණ දුන් කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා සිය ස්වාමිපුරුෂයන් හට ශක්තිය ධෛර්ය ලබා දීම වෙනුවෙන් සිය ස්තූතිය පුද කර සිටින බවත් ප්‍රකාශ කරන ලදි.

එහිදී පවුල්වල දුවා දරුවන් සඳහා ගායන, නර්තන සහ වෙනත් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා දරුවන් දැඩි උනන්දුවකින් සහ උද්යෝගයකින් යුතුව සහභාගි විය. ඒ අනුව පවුල් සුහද හමුව සඳහා සහභාගිවි සිටි සියළු අධිකාරී නොලත් නිලධාරින් ඇතුළු පවුල්වල සාමාජිකයින් සුහදශීලීව සිය අදහස් හුවමාරු කර ගත් අතර, එය සියළුදෙනාට නැවුම් අත්දැකීමක් විය. අවසානයේ සහභාගිවූ සාමාජිකයින් හට ත්‍යාග ප්‍රදානය කිරීමෙන් අනතුරුව පවුල් සුහද හමුව නිමාවට පත්විය.