අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල් සැමරුම් මාර්ග ධාවනය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (Council International Military Sports) සංවත්සරය නිමිත්තෙන් එහි සාමාජික රටවල සහභාගිත්වයෙන් වර්ෂිකව සංවිධානය කරනු ලබන අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය 2019 පෙබරවාරි 18 වන දින මෙවරත් ගාළු මුවදොරදී පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත. ත්‍රිවිධ හමුදා නිලධාරින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විමට නියමිත අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය මෙවර ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරනු ලබයි.

හමුදා පසුබිමක් සහිත පුද්ගලයින් තුළ ද ක්‍රීඩාවට ඇති නැඹුරුතාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව 2006 වසරේදි අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනය ආරම්භ වූ අතර, එමඟින් ක්‍රීඩා සම්මේලන, ඔලිම්පික් කමිටු වැනි ක්‍රීඩාවන් සම්බන්ධ පාර්ශවකරුවන් සහ අනෙකුත් ජාත්‍යාන්තර සංවිධාන, සන්නද්ධ හමුදාවන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශය සමඟින් ඒකාබද්ධව කටයුතු කිරීමට අවස්ථාව උදාවිය

එමෙන්ම, 2006 වර්ෂයේදී ප්‍රථම වරට ආරම්භ වූ මෙම සුවිශේෂි ධාවනය එතැන් පටන් සෑම වර්ෂයකම පෙබරවාරි මස 18 වන දින ලොව පුරා ක්‍රියාත්මක වන අතර, සන්නද්ධ හමුදා දායකත්වයෙන් ක්‍රීඩාව තුලින් සාමය ලඟාකර ගැනීම යන උදාර ‍තේමාව යටතේ ප්‍රංශ ජාතික ස්කොඩ්රන් ලිඩර්වරයෙකු වූ හෙන්රි ඩිමෲස් මහතා ප්‍රථම වරට ජාත්‍යාන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය පිහිටුවා ඇත. එයට ප්‍රංශ, බෙල්ජියම්, නෙදර්ලන්ත, ලක්සම්බර්ග් සහ ඩෙන්මාර්ක් හමුදාවන්ගේ දායකත්වය ද ලබා ගෙන ඇති අතර, වර්ථමානයේදී අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සංවත්සරය සහ එහි සමාරම්භය සිහිගන්වනු පිණිස පැවැත්වෙන වැදගත්ම අංගය මෙම මාර්ග ධාවනය ලෙස හැඳින්විය හැක.

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සහයෝගිතා මුලධර්ම සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක වන මෙම ධාවන තරඟය ලෝක සාමය උදෙසා කදිම දායකත්වයක් ලබා දෙන අතරම එය ලොව වටා සිටින සාමාජිකයින් අතර සම්ප්‍රදායක් බවට ද පත්වෙමින් ඇත. තවද, මේවන විට සාමාජිකයින් 83 ක් අවම වශයෙන් එක් අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල සැමරුම් මාර්ග ධාවනයක් හෝ පවත්වා ඇත.

මෙහි ක්‍රීඩා අංශය අතර කෙටි දුර හෝ දිගු දුර ධාවනය, ඇවිදීම සහ හිමමත ලිස්සා යාම වැනි ක්‍රීඩා අංගයන් ඇතුලත් වේ. අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලයේ තේමාව වන ‘ක්‍රීඩාව තුලින් මිත්‍රත්වය’ යන ආදර්ශ පාඨය ලොව පුරා රටවල් 133 ක වෙසෙන හමුදා සාමාජිකයින් වෙත ලඟාකරවිම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ වන අතර, ඒ අනුව ලොව පුරා වෙසෙන හමුදා සාමාජිකයින් ක්‍රීඩාවේ සහ සාමයේ නාමයෙන් මෙම දිනය සඳහා සිය දායකත්වය ලබාදේ.

තවද, මේ සඳහා එක්වන සියලු පර්ශවකරුවන් සිය විවිධ වූ ශාරිරික ශක්තිය, ක්‍රීඩා හැකියාව, සාමාජ තත්වය සහ ස්ත්‍රි පුරුෂ භාවය හෝ වයස වැනි කරුණු මදකට අමතක කර ලෝක සාමය නම් උතුම් සංකල්පය ප්‍රමුඛ ‍කොටගෙන ක්‍රීඩාවේ නිරතවිම විශේෂත්වයකි.