නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

දකුණු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ කතරගම පොලිස් විශේෂකාර්ය බළකායට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (පෙබරවාරි 14) නීතිව්රෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ රියුනියන් දිවයින වෙත පිටත් වීමට රහසිගතව සැලසුම් කර තිස්සමහාරාම නගරයේ ලැගුම් හලක් තුල සැඟව සිටි පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිරිස අතර කුඩා දරුවන් 03ක්, කාන්තාවන් 03 ක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු සිටි අතර, මොවුන් හලාවත, මීගමුව, කුලියාපිටිය, බංගදෙනිය, තිස්සමහාරාම සහ දෙල්ගොඩ යන ප්‍රදේශ වල පදිංචි කරුවන් වේ. මෙම පුද්ගලයින් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔවුන් සතුව මුහුදු ගමනට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය, ආහාර පිසීමට අවශ්‍ය කරන මුළුතැන්ගෙයි උපකරණ, ජාවරම් කරුවන්ගේ බවට සැක කරන ටොයොටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයක් සහ ඩීමෝබට්ටා වර්ගයේ ලොරි රථයක් ද නාවික හමුදා භාරයට ගොන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින්, වියළි ආහාර ද්‍රව්‍ය, මුළුතැන්ගෙයි උපකරණ සහ මෝටර් රථ ඉදිරි නීතිමය කටයුතු සඳහා තිස්සමහාරාම, පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාරදීමට කටයුතු කෙරිණි.