නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 38 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

පසුගිය පෙබරවාරි මස 14 සහ 15 යන දෙදින තුල නාවික හමුදාව සහ පොලිස් විශේෂකාර්ය බළකාය එක්ව දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ විශේෂ මෙහෙයුම් වලදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදේශ ගතවීම සඳහා සුදානම්ව සිටි පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මෙම පුද්ගලයින් ස්ථාන කිහිපයක ලැගුම්හල් තුල රහසිගතව එක්රැස්ව සිටියදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද අතර, සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී පුද්ගලයින් 23 ක්, වීරවිල ප්‍රදේශයේදී පුද්ගලයින් 03 ක්, කතරගම ප්‍රදේශයේදී පුද්ගලයින් 11 ක් සහ හික්කඩුව ප්‍රදේශයේ එක් පුද්ගලයෙකු වශයෙන් මෙලෙස නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත. මෙම පිරිස අතර මිනිස් ජාවරම මෙහෙයවන පුද්ගලයින් 06 දෙනෙකුද විය.

තවද, මෙම නීතිවිරෝධි මිනිස් ජාවාරම් කටයුතු සඳහා භාවිතාකරන ලද මෝටර් රථ 02 ක්, වැන්රථයක් සහ ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක් ද මේ සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. එහිදී අත්අඩංගුවට පත් පුද්ගලයින්, මොටර් රථ, වැන්රථය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා තිස්සමහාරාම සහ සියඹලාණ්ඩුව පොලිස් ස්ථාව වෙත භාරදීමට කටයුතු කෙරිණි.