ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසය සාර්ථක ලෙස නිමා කරයි

පකිස්ථානු නාවික හමුදාව විසින් දෙවසරකට වරක් පවත්වනු ලබන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව පසුගිය පෙබරවාරි 02 වන දින කොළඹ වරායෙන් පකිස්ථානය බලා පිටත් විය. ඒ අනුව, 2019 පෙබරවාරි 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහි දී රටවල් 44 ක නාවික හමුදාවන්වලට අයත් නෞකාවන් සහ ගුවන් යානා විශාල ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් පැවති මෙම අභ්‍යාසය සඳහා තොරතුරු හුවමාරුකර ගැනීම, අන්න්‍යෝන්‍ය අවබෝධය සහ සහභාගීත්වය, නාවික කටයුතු සඳහා පොදු අවශ්‍යතාවයන් හඳුනාගැනීම, සාගර ආරක්ෂක මෙහෙයුම්, ත්‍රස්ත විරෝධී මෙහෙයුම්, සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් සහ මානුෂීය ආධාර මෙහෙයුම් ආදි වූ අභ්‍යාස රැසක් ඇතුලත්ව තිබූ අතර, එම සියළු අභ්‍යාසයන් සාර්ථක ලෙස නිමා කිරීමට ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවට හැකි විය.

ඒ අනුව, පසුගිය පෙබරවාරි 14 වන දින මෙම අභ්‍යාසය අවසන් කර ඇති අතර, ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මේ වන විට අබුඩාබි වරායට සේන්දු වී ඇත. එළබෙන පෙබරවාරි 22 වන දින අබුඩාබි වරායෙන් පිටත් වීමට නියමිත නෞකාව 28 වන දින දිවයිනට පැමිණිමට නියමිතව ඇත.