අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) සැමරුම් මාර්ග ධාවනය - 2019 මෙවර නාවික හමුදාවේ සංවිධානත්වයෙන් සාර්ථකව පැවැත්විය

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports) සැමරුම් මාර්ග ධාවනය - 2019 අද (පෙබරවාරි 18) කොළඹ ගාලු මුවදොර දී පැවැත් විය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම සෙසු නිලයන් නියෝජනය කරමින් විශාල පිරිසක් සහ ආබාධිත රණවිරුවන් පිරිසක් ද මෙම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල මාර්ග ධාවනය සඳහා සහභාගි වී සිටියහ. ‘ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය’ යන ආදර්ශපාඨය පදනම් කරගනිමින් පැවැත් වූ මෙම ධාවන තරඟය කොලඹ ප්‍රදීපාගාර පරිශ්‍රය අසලින් ආරම්භ වී , ගාලු පාර ඔස්සේ ඉදිරියට ගොස් කොළඹ, ගාලු මුවදොර හෝටලය ඉදිරිපිට වට රවුමෙන් හැරී නැවත ප්‍රදීපාගාර පරිශ්‍රය අසලින් නිමාවට පත් විය. ඉන් අනතුරුව ඒ සඳහා සහභාගි වූ සියළුදෙනා හට සහතිකපත්‍ර ප්‍රදානය කිරීමක් ද සිදු කරන ලදී.

අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය 1948 පෙබරවාරි 18 වන දින ආරම්භ වූ අතර, මෙය ලෝකයේ පවතින විශාලතම සංවිධානයක් වේ. මේ වන විට වර්තමානයේ රටවල් 133 ක ත්‍රිවිධ හමුදා සාමාජිකයින් එහි සාමාජිකත්වය ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකාවද 1996 වසරේදි එහි සාමාජිකත්වය ලබා ගෙන ඇත. ඒ අනුව අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් ශීත සෘතුවේ හා ග්‍රීස්ම සෘතුවේදි මහද්වීප මට්ටමින් සෑම වසර 04 කට වරක්ම අන්තර්ජාතික හමුදා ක්‍රීඩා තරඟාවලි පවත්වනු ලබන අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් අදාල සාමාජිකත්ව රටවල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වේ.