අමාන් 2019 ආහාර ප්‍රදර්ශනයේදී සයුරළ නෞකාව විශේෂ ඇගයුමකට

පසුගිය පෙබරවාරි 08 වන දින සිට 14 වන දින දක්වා පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සමගාමීව පසුගිය පෙබරවාරි 10 වන දින පැවැත්වුණු ජාත්‍යන්තර ආහාර ප්‍රදර්ශනය (Food Festival) සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව ද එක්විය.

ඒ අනුව, ජාත්‍යන්තර ආහාර දැක්ම සඳහා ආහාර කුටියක් නිර්මාණය කිරීමට සයුරළ නෞකා නැව් මුළුව කටයුතු සූදානම් කොට තිබුණි. ඒ සඳහා රටවල් රැසක් සහභාගි වී සිටි අතර, ඒ අතරින් වඩාත් කැපී පෙනෙන ආහාර කුටිය නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සමත් විය. එම ආහාර කූටිය සඳහා ශ්‍රී ලංකාවට ආවේණිකවූ ආහාර කිහිපයක් සකස් කර තිබූ අතර, එය ආහාර ප්‍රදර්ශනය නැරඹිමට පැමිණි සියළුදෙනාගේ විශේෂ ඇගයුමකට ලක්විය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි පකිස්ථානු නාවික හමුදාධිපති, අද්මිරාල් ෂාෆාර් මහමුද් අබ්බාසි මහතා ඇතුළු දෙරටේ ආරක්ෂක නිලධාරින් ඉතාමත් සතුටු සිතින් යුතුව ශ්‍රී ලාංකික දේශීය ආහාර රස බැලීමට ද එක් විය.

මෙම ආහාර ප්‍රදර්ශණය නැරඹිම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ මහතා, නාවික අණභාර නිලධාරි (වැලිසර) සහ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරි, කොමදෝරු බන්දුල සේනාරත්න මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.