ශ්‍රීලංනානෞ සයුරළ නෞකාව අබුඩාබිහිදි වැඩසටහන් කිහිපයක් සංවිධානය කරයි

පසුගිය පෙබරවාරි 17 වන දින අබුඩාබිහි ආරම්භ කරන ලද ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019 (International Defence Exhibition & Conference) සඳහා සහභාගී වූ සයුරළ නෞකාව ඊයේ (පෙබරවාරි 20) වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදී.

ඒ අනුව, අබුඩාබි නාවික බලකායේ නියෝජ්‍ය ආඥාපති නාවික බිග්‍රේඩියර් ජෙනරාල් අබ්දුල්ලා අබ්දුල්ලා අල් ෂෙයිහි මහතා ඊයේ දින ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ අණදෙන නිලධාරි, ‍කපිතාන් ඉසිර කාසිවත්ත මහතා හමු විය. එහිදී, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

තවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ නියෝජිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් ඊයේ දින ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව නිරික්‍ෂණ චාරිකාවක නිරත වන ලදී. එහිදී, නෞකාව පිළිබඳ දැනුමක් එම නිලධාරින් හට ලබා දීමට කටයුතු කරන ලද අතර, එම අවස්ථාව ඔවුන්ට නැවුම් අත්දැකීමක් විය.