මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු (05) නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකු (05) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (පෙබරවාරි 21) නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු මැද නාවික විධානයට අනුයුක්ත යාත්‍රාවක් මඟින් අරිප්පු ප්‍රදීපයට (Beacon) වයඹ දෙසින් වූ මුහුදේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.

එමෙන්ම, නාවික හමුදාව නිරන්තරව සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් පසුගිය ‍පෙබරවාරි 20 වන දින ද මෙවැනි ආකාරයට නීති විරෝධී ලෙස මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් දහතුන්දෙනෙකු (13) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.