වැලි ගොඩදැමිමට සුදුසු ස්ථාන හඳුනා ක්ෂේත්‍ර විමර්ෂණ චාරිකා ත්‍රිකුණාමලයේදී

භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මඟින් 2019 පෙබරවාරි මස 15 වන දින සිට 28 වන දින දක්වා මහවැලි ගඟ ආශ්‍රිතව වැලි කැණිම් කටයුතු තාවකාලිකව වලක්වාලමින් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පෙබරවාරි මස 21 වන දින සිට 23 වන දින දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වැලි කැණිම් සම්බන්ධයෙන් විධිමත් විමර්ෂණයක් සිදු කිරීමට භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය කටයුතු කරන ලදී. ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරින්ගේ ද සහාය ලබා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

ඒ අනුව තෙදින පුරා ත්‍රිකුණාමලය, මහවැලි ගඟ ආශ්‍රිතව ක්ෂේත්‍ර විමර්ෂණ චාරිකාවන් රැසක් සිදු කරන ලදී. එහිදී වැලි කැණිම් කටයුතු සිදු කරනු ලබන ස්ථාන පරික්‍ෂා කරන ලද අතර, වැලි කැණිම් සඳහා සුදුසු ස්ථාන හඳුනා ගැනීම ද, දැනට නිකුත් කර ඇති බලපත්‍ර පරික්‍ෂා කිරීමක් ද මෙහිදි සිදු කරනු ලැබිය. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නීලපොල, වෙල්ලනාවන් ඉරිදියපුරම් සහ සේම්බල් සෙට්ටි ඇතුළු ස්ථාන 300 ක් පමණ ආවරණය වන පරිදි මෙම විමර්ෂණ චාරිකාවන් සිදු කරන ලදී. එහි අරමුණ වූයේ වැලි කැණිම් කටයුතු සිදු කිරීමෙන් සිදු වන පරිසර හානිය අවම කර ගැනීම වන අතර, එමඟින් පරිසර පද්ධතිය සුරක්‍ෂිත කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම ක්ෂේත්‍ර විමර්ෂණ චාරිකාවන් සඳහා වනජිවි සංරක්‍ෂණ දේපාර්තමේන්තුව, භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිසිය සහ මධ්‍යම පරිසර අධිකාරියට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුයුක්ත නිලධාරින්ගේ සහාය ද හිමිව ඇත. එමෙන්ම, පරිසර පද්ධතිය ආරක්‍ෂා කර ගැනීම ශ්‍රී ලාංකීක අප සියළුදෙනාගේම වගකිමක් සහ යුතුකමක් වන අතර, ඒ සඳහා සියළුදෙනා අත්වැල් බැඳ ගනිමින් කටයුතු කළ යුතුව ඇත.