නාවික හමුදාධිපතිතුමන් දකුණු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පසුගිය පෙබරවාරි 21 සහ 22 වන දින දකුණු නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී දකුණු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා විසින් නාවික හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඒ අනුව පෙබරවාරි 21 වන දින නාවික හමුදාධිපතිතුමන්, කිරිඳිඔය නාවික අනුඛණ්ඩය තුළ පවත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපෘතියේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, කෘෂි ව්‍යාපෘතියට අනුයුක්තව රාජකාරි කරනු ලබන නාවිකයින් ඇමතීමට ද කටයුතු කරන ලදී. එහිදී ‍එය ක්‍රමවත්ව සහ අලංකාරවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එහි කර්ය මණ්ඩලය වෙත සිය ස්තූතිය පුද කර සිටින ලදී. එමෙන්ම එම අවස්ථාව සිහි කරනු වස් එම පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කිරීමට ද එතුමන් කටයුතු කරන ලදී. අනතුරුව එතුමන් හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටා ඇති නාවික අනුඛණ්ඩයේ චාරිකාවක නිරත වන ලද අතර, පළමුව එහි ස්ථාපිත කර ඇති රේඩාර් මාධ්‍යස්ථානය නිරික්‍ෂණය කරන ලදී. එමෙන්ම දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමා විසින් වරාය පරිශ්‍රය තුළ නාවික හමුදාව හට පැවරී ඇති අන්තර්ජාතික නෞකා සහ වරාය පහසුකම් පිළිබඳව සහ එහි කාර්යභාර්ය පිළිබඳ නාවික හමුදාධිපතිතුමා දැනුවත් කිරීමට කටයුතු කරන ලද අතර, එම අවස්ථාව සඳහා හම්බන්තොට වරායෙහි ප්‍රධාන ආරක්‍ෂක නිලධාරි වශයෙන් කටයුතු කරනු ලබන රියර් අද්මිරාල් (විශ්‍රාමික) ජයන්ත සිල්වා මහතා ද සහභාගී විය. එදින අවසන් අවස්ථාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ නිරික්‍ෂණ චාරිකාවක නිරත වූ නාවික හමුදාධිපතිතුමන් ආයතනයේ ඉදි කරනු ලබන ව්‍යාපෘතින්වල ප්‍රගතිය නිරික්‍ෂණය කරන ලදී. එතුමන් එම පරිශ්‍රයේ අඹ පැලයක් ද රෝපණය කිරීමට කටයුතු කරන ලද අතර, පසුව ආයතනයේ නාවිකයින් ඇමතීමට කටයුතු කරන ලදී.

සංචාරයේ දෙවනි දිනය වූ එනම් පෙබරවාරි 22 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ සංචාරයක නිරත වන ලදී. ඒ අනුව දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ සහ නිපුණ යන ආයතනවලට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ අංශ පිරික්‍ෂුමක් පැවැති අතර, පසුව එතුමන් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතන‍යේ සම්මන්ත්‍රණ ශාලාවේදී සියළුම නිලධාරින් සහ නාවිකයින් ඇමතීමට කටයුතු කරන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය ඉදි කරමින් පවතින නාවික රෝහල ඇතුළු ඉදිකිරිම් කටයුතු කරනු ලබන ව්‍යාපෘතින්වල නිරික්‍ෂණ චාරිකාවක නිරත වන ලදී. අනතුරුව එම ආයතනයේ පිහිටා ඇති නාවික මැහුම් මධ්‍යාස්ථාන‍යේ සහ කපිතාන් සැපයුම් හා සේවා දේපාර්තමේන්තු‍ව (දකුණ) චාරිකාවක නිරත වන ලදී. දෙවන දිනයේ අවසන් චාරිකාව වශයෙන් නාවික හමුදාධිපතිතුමන් එක් වූයේ ශ්‍රී ලංකා නාවික‍ නෞකා දක්‍ෂිණ ආයතනයේ වන අතර, එහිදී දකුණු නාවික විධානයේ කාර්ය භාර්ය පිළිබඳව නාවික හමුදාධිපතිතුමා දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විය. එහිදී ආයතන පරිශ්‍රයේ අඹ පැලයක් රෝපණය කිරීමට ද එතුමන් කටයුතු කරන ලදී. අනතුරුව දකුණු නාවික විධානයට අනුයුක්ත නෞකා සහ යාත්‍රාවන්ගේ නිරික්‍ෂණ චාරිකා වාරයක නිරත වූ එතුමන් නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසලේ ද නිරික්‍ෂණ චාරිකාවකට එක් වන ලදී. අවසන් වශයෙන් ගාල්ල සමුද්‍රිය ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ නාවික හමුදාධිපතිතුමන් සිය දකුණු නාවික විධාන සංචාරය නිමාවට පත් කරන ලදී.

තවද, මෙම අවස්ථාවන් සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත ‍සියළුම දෙපාර්ථමේන්තු ප්‍රධානීන් සහ අණදෙන නිලධාරින් සහභාගිවි සිටියහ.


නාවික අණුඛණ්ඩ කිරිඳිඔය නිරික්‍ෂණ චාරිකා වාරය


නාවික අණුඛණ්ඩ හම්බන්තොට නිරික්‍ෂණ චාරිකා වාරය


ශ්‍රී ලංකා නාවික නෞකා රුහුණ ආයතනයේ නිරික්‍ෂණ චාරිකා වාරය


ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ නිරික්‍ෂණ චාරිකා වාරය


ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ ආයතනයේ නිරික්‍ෂණ චාරිකා වාරය