‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය සඳහා නාවික හමුදා සහාය

‘IRONMAN 70.3’ ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය අද (පෙබරවාරි 24) කොළඹ ගාලු මුවදොරදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාව සඳහා සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානු ආගමික කටයුතු අමාත්‍ය ‍ගරු ජෝන් අමරතුංග මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි නිලධාරින් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.

තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහ අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු ජයන්ත ගමගේ ඇතුළු නාවික හමුදා නිලධාරින් පිරිසක් ද සහභාගී වූ අතර, මෙම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 12 දෙනෙකු සහභාගි විය. එමෙන්ම, මෙම තරඟාවලිය සඳහා ජිවිතාරක්‍ෂක සේවය නාවික හමුදා කිමිදුම් අංශය සහ නාවික හමුදා ක්ෂණික මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) විසින් සිදු කරන ලදී.