මන්නාරම තිරුකේෂ්දීවරන් කෝවිලෙහි ශිව පුජාව සඳහා නාවික හමුදා දායකත්වය

ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් විසින් ඊයේ (මාර්තු 04) දිනට යෙදි තිබූ මහ ශිව රාත්‍රි පුජාව අති උත්කර්ෂවත් අන්දමින් සැමරිමට කටයුතු කරන ලද අතර, ඒ අනුව මන්නාරම ප්‍රදේශයේ හින්දු බැතිමතුන් මෙවරත් මන්නාරම තිරුකේෂ්දීවරන් කෝවිල කේන්ද්‍ර කර ගනිමින් ඊයේ සහ අද (මාර්තු 05) උදෑසන ශිව දෙවියන් උදෙසා සිදු කරන ආගමික වතාවත්වල නිරත විය. ඒ සඳහා මන්නාරම් ප්‍රදේශයේ හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.

තවද, බැතිමතුන් දිය නෑමේ චාරිත්‍රය සිදු කරනු ලබන ස්ථානය වෙත ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා නාවික හමුදාව විසින් ජීවිතාරක්ෂක කණ්ඩායමක් සහභාගි කරවන ලද අතර, ඒ සඳහා උතුරු මැද නාවික විධානයට අයත් නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයින් සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත නාවිකයන් පිරිසක් සහභාගි කරවන ලදී. ශිව රාත්‍රි පුජා උත්සවය සාර්ථක කර ගැනීම සඳහා නාවික හමුදාව දක්වන ලද සහයෝගය කෝවිලේ ප්‍රධාන පුජකතුමා ඇතුළු පැමිණි සිටි බැතිමතුන් මහත් ඉහලින් අගය කරනු ලැබූහ.