කච්චතිව් වාර්ෂික මංගල්‍යය - 2019 උත්කර්ශවත්ව පැවැත්වීම සඳහා නාවික හමුදා සහාය

ශ්‍රී ලාංකික සහ ඉංදීය කතෝලික බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පුද පුජා පවත්වන ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අන්දමින් 2019 මාර්තු මස 16 වන දින පැවැත්වීමට යාපනය දිස්ත්‍රික් ලේකම් විසින් කටයුතු සූදානම් කර ඇති අතර, මෙවරත් එම කටයුතු සඳහා යාපනය පදවියේ රදගුරු සහ දිස්ත්‍රික් ලේකම් හට අවශ්‍ය පහසුකම් සැළසීම සඳහා නාවික හමුදාව කටයුතු කරගෙන යනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානය විසින් කච්චතිව් මංගල්‍යය සඳහා සහභාගීවන බැතිමතුන් හට අවශ්‍ය පානීය ජලය, සනීපාරක්‍ෂක පහසුකම්, කූඩාරම්, තාවකාලික මංමාවත් හා ජැටි සකස්කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපිත කිරීමද මේ දිනවල සිදුකරමින් පවතී. එමෙන්ම බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය ස්ථාන හදුනා ගැනීම හා වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා තාවකාලික ගිලන්හලක් ඉදිකිරීමද නාවික හමුදාව විසින් සිදුකරනු ලබන අතර, නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකරන ලද කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය, අවට ප්‍රදේශය හා මංමාවත් පිරිසිදු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් (ඩෙල්ෆ්ට්) හට අවශ්‍ය සහාය ලබාදීමද නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

වාර්ෂිකව පැවැත්වෙන මෙම දේව මෙහෙය සඳහා පසුගිය වසරේ ඉන්දියානු හා ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් 10,000 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර, මේ වසරේද විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්‍ෂා කරයි. ඒ අනුව කන්කසන්තුරේ සහ කුරිකට්ටුවාන් ජැටියේ සිට කච්චතිව් දූපත දක්වා පූජකවරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයින්, බැතිමතුන්, දෙස් විදේස් මාධ්‍යවේදින් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ හා උපකරණ ආරක්‍ෂිතව නෞකා හා යාත්‍රා මඟින් ප්‍රවාහනය කිරීම සඳහා මෙවරත් විශේෂ වැඩපිළිවෙලක් නාවික හමුදාව විසින් සකසා ඇත.