නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 18) කල්පිටිය, පල්ලියවත්ත මුහුදු ප්‍රදේශයේදී සිදු කළ මුර සංචාරයක් අතරතුරදි වලංගු ධීවර අවසරපත් නොමැතිව සහ නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, මීටර් 100ක දිගකින් යුත් තහනම් දැලක්, පිටත දහන යන්ත්‍රයක් සහ මසුන් කිලෝග්‍රෑම් 10 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. තවද, එම විධානයටම අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ රෝදාපාඩු මුහුදු ප්‍රදේශයේදී සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධී දැල් කැබැලි 20 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රාව, මසුන් තොගය සහ නීති විරෝධී දැල් මෙන්ම අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.