600 වෙනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය ජනතා අයිතියට පත් කෙරේ.

600 වන ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය අනුරාධපුරය, ඓතිහාසික ඉසුරුමුණි විහාරස්ථානයේදී, අද (මාර්තු 20) වන දින සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් විවෘත කෙරිණි.‍ එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල්ද සිල්වා, රජයේ මැති ඇමතිවරුන් ඇතුළුව ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

අනුරාධපුරය, ඓතිහාසික ඉසුරුමුණි විහාරස්ථාන පුද බිම වැඳපුදා ගැනීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සැදැහැවත් බැතිමතුන් විශාල පිරිසකගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපිරීමට මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය මඟින් අපේක්‍ෂා කෙරේ.

වකුගඩු රෝගයෙන් පීඩා විදින ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ලීම පෙරදැරි කර ගනිමින් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උදාර සංකල්පයකට අනුව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ සහ විවිධ දානපතීන් ගේ මුල්‍ය දායකත්වය මත නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කර ගනිමින්, මේවන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක ජල පිරිපහදු යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත. විශේෂයෙන්ම දිවයිනේ ප්‍ර‍දේශ රැසක මිලියන 1.5 ක පමණ වූ ජනතාවක් සඳහා පිරිසිදු පානීය ජලය ලබා දීමට මෙමඟින් හැකියාව ලැබී ඇත.

ඒ අනුව, ඉදිරියේදී ද වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙවැනිම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටී.