බීඩී කොළ කිලෝග්‍රෑම් 1547.68 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 22) උදෑසන තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත ගෝනි 41 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 1547.68 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම බීඩී කොළ ඩිංගි යාත්‍රාවක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 28, 30 සහ 35 වන වියෙහි පසුවන තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම බීඩී කොළ තොගය සහ පුද්ගලයින් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, පසුගිය දින කිහිපයක සිට නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම් මුහුදු ප්‍රදේශයෙන් සිදුකරනු ලැබූ සොදිසි කිරීම් වලින් මේවන විට බීඩී කොළ කිලෝ ග්‍රෑම් 2787.3 ක ප්‍රමාණයක් ‍අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇති අතර තවදුරටත් නාවික හමුදාව සොදිසි මෙහෙයුම් සිදුකරමින් සිටී.