වත්තල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය

වත්තල නගරයේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක පස්වන මාලයේ හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්විම සඳහා සහාය ඉල්ලා ඊයේ (මාර්තු 24) රාත්‍රියේ වත්තල පොලිසිය විසින් සිදුකළ දැනුම්දීමකට අනුව වහාම ක්‍රියාත්මක වු නාවික හමුදාව එම ස්ථානය වෙත කඩිනමින් ගිනි නිවීමේ කණ්ඩායම් දෙකක් (02) යැවීමට කටයුකු කෙරිණි.

ඒඅනුව, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයෙන් නාවික පුද්ගලයින් 10 දෙනෙකු ඇතුළුව ගිනි නිවීමේ රථයක් මෙන්ම වතුර බවුසර් 02ක් ද, ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයෙන් නාවික පුද්ගලයින් 10 දෙනෙකු ඇතුළුව ගිනි නිවීමේ රථයක් මෙන්ම වතුර බවුසරයක් ද එම ගින්න නිවීමේ කටයුතු සඳහා අනුයුක්ත කෙ‍රිණි.

අනතුරුව ගින්න මැඩපවත්වමින් සිටි කොළඹ නගරසභාවේ ගිනි නිවීමේ කණ්ඩායම් සමඟ එක්ව මහත් පරිශ්‍රමයක් දරමින් ඔවුන් එම වෙළෙඳසැල පුරා ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීම‍ට සහාය දක්වන ලදී.