ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකළොස්දෙනෙකු (11) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා 03 ක් ඊයේ (මාර්තු 25) රාත්‍රියේ සහ අද අළුයම නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර ‍නෞකාවක් මඟින් අනලතිව් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධිවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට නියමිතය.

එමෙන්ම, නාවික හමුදාව නිරන්තරව සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් පසුගිය ‍මාර්තු 23 වන දින ද මෙවැනි ආකාරයට නීති විරෝධී ලෙස මුහුදු සීමාව උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් එකළොස්දෙනෙකු (11) සහ ට්‍රෝලර් යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.