පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් නාවික හමුදා භාරයට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 26) ත්‍රිකුණාමලය, මොහොත්තුවාරම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා (ඩයිනමයිට්) ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 80 සමඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මසුන් තොගය කැබ් රථයක් මඟින් ප්‍රවාහනය කිරීම සඳහා සුදානම් කර තිබි ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයා වයස අවුරුදු 28 ක් වන ඊච්චලම්පත්තු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා, මසුන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙරුගල්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, මෙවැනි අකාරයට මසුන් ඇල්ලීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය බෙදාහරිනු ලබන පුද්ගලයින් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගැනීමට මෙම වසරේදි නාවික හමුදාව කටයුතු කරන ලද අතර, මෙම නීති විරෝධි මසුන් මැරිමේ ක්‍රමය හේතුවෙන් සාගර පද්ධතිය විනාශ විමට ලක්වි ඇත. එබැවින් ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපය තුල ඇති මත්ස්‍ය සම්පත මෙන්ම සාගර සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරන අතර, මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.