මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහනක් ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී

‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන යටතේ ඒකාබද්ධ මානුෂිය ආධාර සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් වැඩසටහනක් ඊයේ (මාර්තු 27) පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය ප්‍රදේශයේ ස්ථාපිත ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පවත්වන ලදී. මෙම වැඩසටහන නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතාගේ මඟපෙන්විම යටතේ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, ලුතිනන් කොමාණ්ඩර් දුමින්ද දයානන්ද ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී. වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රුවන් පෙරේරා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවූ අතර, ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක බලකායේ සාමාජිකයින්, ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, ශ්‍රී ලංකා පොලිසියට අනුයුක්ත නිලධාරින් මෙන්ම රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගිවි සිටියහ.

මෙහිදි ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ නාවික පුද්ගලයින් හට ආපදා කළමණාකරණය පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම හුවමාරු කර ගැනීමට අවස්ථාව උදා විය. මෙම වැඩසටහන ගංවතුර සහ නායයෑම් වශයෙන් අධියර දෙකක් යටතේ පවත්වන ලදී. ඒ සඳහා නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත සාමාජිකයින් සහභාගිවූ අතර, තෝරාගනු ලැබූ අභ්‍යාස කිහිපයක් සඳහා ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක බලකායට අනුයුක්ත සාමාජිකයින් ද සහභාගිවන ලදී.