ජාතික ඵලදායිතා සම්මාන උලෙළේදී වැලිසර නාවික මහ රෝහල ඇගයීමට ලක් කෙරේ

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයෙහි මඟපෙන්වීම හා උපදේශකත්වය මත ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජාතික ඵලදායිතා සම්මාන 2018 උළෙල පසුගිය මාර්තු 26 වන දින බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

ජාතික ඵලදායිතා සම්මාන 2018 වැඩසටහන යටතේ මානව සම්පත් කළමනාකරණය, නායකත්වය, ආයතනික සංස්කෘතිය, සේවක සුරක්‍ෂිතභාවය, සැලසුම්කරණය සහ උපාය මාර්ගික සංවර්ධනය, ක්‍රියාවලිය, තොරතුරු හා දැනුම කළමනාකරණය සහ ප්‍රථිපල පිළිබඳව ආයතන ඇගයීමට ලක් කරන ලදී.

ඒ අනුව, මානව සම්පත් කළමනාකරණය, නායකත්වය, ආයතනික සංස්කෘතිය, සේවක සුරක්‍ෂිතභාවය යන ක්‍ර‍මවේදය අනුගමනය කරමින් නාවික මහ රෝහල් පරිශ්‍රය පවත්වාගෙන යාම අගය කරනු වස් ජාතික ඵලදායිතා සම්මාන 2018 අභ්‍යන්තර දෙපාර්තමේන්තු වර්ගිකරණය යටතේ වැලිසර පිහිටි නාවික මහ රෝහල වෙත තුන්වන ස්ථානය හිමි විය. එහිදී නාවික හමුදාව වෙනුවෙන් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න සහ ජ්‍යේෂ්ඨ විධාන වෛද්‍ය නිලධාරි (බටහිර), වෛද්‍ය කපිතාන් දුමින්ද සමරවික්‍රම විසින් එම ඇගයීමේ සම්මානය සහ සහතික පත්‍රය ලබා ගන්නා ලදී.

තවද, පරිසරය අලංකරනයෙන් යුතුව හරිත ඵලදායි ක්‍ර‍මවේදය අනුගමනය කරමින් රෝහල් පරිශ්‍රය පවත්වාගෙන යාම වෙනුවෙන් 2018 වසරේ ජනාධිපති පරිසර සම්මානය නාවික මහ රෝහල වෙත පිරිනැමුනු අතර, ඒ අනුව 2018 වර්ෂයට අදාලව ජනාධිපති පරිසර සම්මානය සහ ජාතික ඵලදායිතා සම්මානය යන සම්මාන දෙකම හිමිකර ගත් එකම ආයතනය බවට වැලිසර නාවික මහ රෝහල පත්විය.