මුලික පුහුණුව නිම කල ඉඳුරාම බඳවාගත් නිලධාරින් සහ සේවා ප්‍රවේශ නිලධාරින් විසිතුන්දෙනෙකු (23) අධිකාරියට පත් කෙරේ

2018 වර්ෂයේ පළමු ඉඳුරාම බඳවා ‍ගැනීමට අයත් නිලධාරින් දහතුන්දෙනෙකු (13) සහ 2018 පලමු සේවා ප්‍රවේශ බඳවා ‍ගැනීමට අයත් නිලධාරින් දහදෙනෙකු (10) න්‍යායාත්මක සහ ප්‍රායෝගික පුහුණුව සාර්ථකව අවසන් කර අද (මාර්තු 29) දින ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී විසිර යන ලදී. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ සහභාගී විය. එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, කොමදෝරු කලණ ජිනදාස ඇතුළු නැගෙනහිර නාවික විධානයට සහ නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගිවී සිටියහ.

ගෞරව සම්මාන උත්තමාචාරය පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අංශ පිරික්සීම සිදු කල අතර, ඉන් අනතුරුව එතුමන් විසින් එක් එක් අංශයන්ගෙන් දක්ෂතා දැක්වූ නිලධාරීන් හට කුසලාන ප්‍රදානය කිරීම සිදු කෙරිණි. එහිදී, ඉඳුරාම බඳවා ගැනීමේ දක්ෂතම නිලධාරියා හට හිමි කුසලානය උප ලුතිනන් ඩබ්එල්අයි කුරේ ද දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය උප ලුතිනන් (සැපයුම්) ඒකේඑස් ද සිල්වා හිමි කර ගන්නා ලදී. එමෙන්ම උප ලුතිනන් (සැපයුම්) කේටී චාමර විසින් දක්‍ෂතම ඉලක්කකරුට හිමි සම්මානය හිමි කර ගන්නා ලදී. තවද, සේවා ප්‍රවේශ බඳවා ගැනීමේ දක්ෂතම නිලධාරියා සහ දක්‍ෂතම ඉලක්කකරුට හිමි සම්මානය බල නැවි එම්එෆ්එම් ඉර්ෆාන් හිමි කර ගත් අතර, නායක නැවි ජේඒඩී කුමාරගම සේවා ප්‍රවේශ බඳවා ගැනීමේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කර ගන්නා ලදී.

එමෙන්ම, උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක් වූ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින්, විසිර යන නාවික නිලධාරීන් සහ ඔවුන්ගේ දෙමාපියන් අමතමින්, අධිකාරියට පත් මෙම නිලධාරින් විනයගරුකව හා අවංකව තම රාජකාරි ඉටු කරනු ඇති බව අපේක්‍ෂා කරන බවත්, රටේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරිභාවය ආරක්‍ෂා කර ගනිමින්, නාවික හමුදාවේ සහ තම නිපුණතාවයන් පෙරට වඩා වැඩි දියුණු කර ගැනීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව ද ප්‍රකාශ කර සිටින ලදී. තවද, මාතෘභූමියට මෙන්ම නාවික හමුදාවට තම සේවය ඉටු කිරීම සඳහා ‘සෑම විට පලමුව රාජකාරිය’ බව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ලදී.