බීඩී කොළ කිලෝග්‍රෑම් 570.74 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා භාරයට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 29) රාත්‍රියේ තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී බීඩී කොළ සහිත පාර්සල් 13 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 570.74 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව ඇති අතර, මෙම බීඩී කොළ ඩිංගි යාත්‍රා දෙකක් (02) ක් මඟින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 25, 29, 31 සහ 33 වන වියෙහි පසුවන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම බීඩී කොළ තොගය සහ පුද්ගලයින් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

ඒ අනුව තවදුරටත් නාවික හමුදාව තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. තවද, නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට සහ වෙරළබඩ මුර යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් ඊයේ උදෑසන (මාර්තු 29) මන්නාරම දකුණු මුහුදු තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 1456.1 ක ප්‍රමාණයක් සොයා ගැනීමට ද සමත් වන ලදී.