සාර්ථක පුහුණු අභ්‍යාසයකින් අනතුරුව ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත් වෙයි

පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‍නෞකා හතරින් (04) දෙකක් වන ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’ නෞකාවන් සිය පුහුණු සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (මාර්තු 30) වන දින කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී. ඒ අනුව ‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන සඳහා සහභාගිවිමට පැමිණි ඕස්ට්‍රේලියානු නෞකාවන් වන ‘සක්සස්’, ‘පැරමටා’, ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’යන නෞකාවන් සියල්ල දිවයිනෙන් පිටත්ව යන ලදී.

ඒ අනුව ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’යන නෞකාවන් මෙරට රැඳී සිටී කාල සිමාව තුළදී එහි නැව් මුළුව ‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන යටතේ පුහුණු ක්‍රියාකාරකම් රැසකට මෙන්ම තවත් වැඩසටහන් කිහිපයකට සහභාගී විය. පසුගිය මාර්තු 23 වන දින නෞකාවේ කාර්ය මණ්ඩල‍ය වෙනුවෙන් සංස්කෘතික සංදර්ශනයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද අතර, එය ශ්‍රී ලංකාවට ආවේණික සංස්කෘතික අංගයන් රාශියකින් සමන්විත විය. ඕස්ට්‍රේලියානු නාවික හමුදා සාමාජිකයින් පිරිස මහත් උද්යෝගයකින් යුතුව සංස්කෘතික අංගයන් නැරඹු අතර, එය අප රටෙහි සංස්කෘතික අංගයන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට ඔවුනට ලැබුණු මහගු අවස්ථාවක් විය. තවද, වැලිසරහිදී ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සමඟ සුහද ක්‍රිකට් සහ පාපන්දු තරඟයකට ද ඕස්ට්‍රේලියානු නාවික හමුදා සාමාජිකයින් සහභාගිවන ලදී. එමෙන්ම පසුගිය මාර්තු 24 වන දින ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’නෞකාවන්හි නිරික්‍ෂණ චාරිකාවක නිරත විමට ද ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට අවස්ථාව උදා කර දී තිබූණි.

තවද, මාර්තු 25 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් ජගත් රණසිංහ, ශ්‍රී ලංකා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හා ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් නෞකාවන්හි නිරික්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී නෞකාවන්හි ඉතිහාසය පිළිබදව මෙන්ම මෙයෙහුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ද අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.

එමෙන්ම ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’ නෞකාවන් දිවයිනෙන් පිටත්ව යන මොහොතේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ නෞකාව සමඟ එකාබද්ධ අභ්‍යාසයක් සඳහා එක් වූ අතර, ඒ අනුව සාර්ථක පුහුණු අභ්‍යාසයකින් අනතුරුව ‘කැන්බරා’ සහ ‘නිව්කාසල්’ නෞකාවන් දිවයිනෙන් පිටත්ව යන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා සංස්කෘතික සංදර්ශනය

















සුහද ක්‍රීඩා තරඟ

















ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් විසින් නෞකාවන්හි සිදු කළ නිරික්‍ෂණ චාරිකාව

















ශ්‍රී ලංකා නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරින් විසින් නෞකාවන්හි සිදු කළ නිරික්‍ෂණ චාරිකාව

















නෞකාවන්හි පිටත්විම