නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 14 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 30) කල්පිටිය, දළුව මුහුදු ප්‍රදේශයේදී සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් සහ නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දහහතරදෙනෙකු (14) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 28 ත් 53 ත් අතර වයස්වල පසුවන කල්පිටිය, පල්ලියවාසලපාඩු සහ කන්දතොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, මීටර් 130 සහ 150 ක් දිගින් යුත් තහනම් දැල් 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක් සහ මසුන් කිලෝග්‍රෑම් 40 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. .

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, මසුන් තොගය සහ නීති විරෝධී දැල් මෙන්ම අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.