නාවික මෙහෙයුම් අතරතුර තවත් බීඩී කොළ කිලෝග්‍රෑම් 1057.42 ක් නාවික හමුදාව සොයා ගැනේ

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පසුගිය මාර්තු 29 වන දින තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝගෑම් 2026.84 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු (04) අත්අඩංගුවට ගැනීමට සමත්වූ අතර, එම ප්‍රදේශයේ ඊයේ (මාර්තු 30) තවදුරටත් සිදු කළ සෝදිසි කිරිම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 1057.42 ක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය. .

ඒ අනුව පසුගිය මාර්තු 29 සහ ඊයේ, දෙදින තුළ සිදු කළ සෝදිසි කිරීම්වලදි බීඩී කොළ කිලෝග්‍රෑම් 3084.26 ක ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට සමත්ව ඇත. මෙම බීඩී කොළ පාර්සල් වශයෙන් අසුරා බහා තිබී ඇති අතර, ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක පළ කෙරේ. එම බීඩී කොළ තොගය ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත. .

නාවික හමුදාව ශ්‍රී ලංකාව වටා පිහිටි මුහුදු ප්‍රදේශය සහ වෙරළ තීරය නිරන්තර විමර්ශනයට ලක් කරන අතර, එමගින් සාගරය හරහා සිදුවන නීතිවිරෝධී ජාවාරම් මැඩලීමට හැකිවී ඇත. නිරන්තර අවධානයෙන් රාජකාරී කරන නාවික පුද්ගලයින් නිසා මුහුදු මගින් සිදුවන ජාවාරම් රාශියක් වළකාලීමටත්, එම ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් නාවික හමුදාව සමත්ව ඇත. ඒ අනුව, මෙම වර්ෂයේදී පමණක් නීති විරෝධී ලෙස බිඩී කොළ මෙරටට රැගෙන ඒමට උත්සහ කරන ලද අවස්ථාවන් 10 කදි පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී බීඩී කොළ කිලෝග්‍රෑම් 10000 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.