නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

ගාල්ල, ධීවර වරායෙන් පසුගිය මාර්තු 29 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘මධුෂාන් පුතා’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (මාර්තු 31) වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී. ඒ අනුව, ගාල්ල ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 64 ක් පමණ වූ දුරකදි රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව රෝගියා හට මුලික ප්‍රථමාධාර පහසුකම් ලබා දෙමින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. ඒ අනුව, ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලදී.

තවද, ශ්‍රී ලංකාව වටා ඇති සාගරය ප්‍රයෝජනයට ගනු ලබන නාවික හා ධිවර ප්‍රජාවට සිදුවන ඕනෑම උපද්‍රවයකදී නාවික හමුදාව විසින් සිය දායකත්වය ලබා දීමට කටයුතු කොට ඇති අතර, ඒ අනුව මේවන විට අප සාගර කළාපය භාවිතා කරනු ලබන වෙළඳ නෞකා සහ යුධ නෞකා මෙන්ම ධීවර යාත්‍රාවන්හි රෝගී තත්වයට පත් විශාල පුද්ගලයින් පිරිසක් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර ඇත. එමෙන්ම ඉදිරියේදීත් මෙවැනි සත්කාර සිදු කිරීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.