ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ පිහිටි නාවික ගිලන්හල නාවික රෝහල (ගිණිකොන) වශයෙන් නම් කෙරේ

ගිණි‍කොන නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ ආයතනයේ පිහිටි ගිලන් හල අළුත්වැඩියා කිරීමෙන් පසු නාවික රෝහල (ගිණිකොන) වශයෙන් නම් කිරීම අද (අප්‍රේල් 01) ගිණිකොන නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ගිණිකොන නාවික විධානය භාර ආඥාපතිතුමා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හට සිදු කළ ඉල්ලීමකට අනුව මෙම ගිලන් හල නාවික රෝහල (ගිණිකොන) වශයෙන් නම් කිරීමට කටයුතු කරන ලදී.

මෙහිදි ගිණිකොන නාවික විධානය භාර ආඥාපතිතුමා විසින් විධානයට අනුයුක්ත වෛද්‍ය නිලධාරින් සහ නාවිකයින් ඇමතීමට කටයුතු කළ අතර, එහිදී අදහස් දැක්වූ ආඥාපතිතුමා ප්‍රකාශ කර සිටියේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සිය ඇගයීමට ලක් කරන බවත් මෙම රෝහල මෙවැනි තත්වයකට පත් කිරීමට දායකත්වය දැක්වූ නාවික හමුදාධිපතිතුමා, අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය හා සේවා මෙන්ම හිටපු ගිණිකොන නාවික විධානය භාර ආඥාපතිතුමා හට සිය ස්තූතිය ප්‍රකාශ කර සිටින ලදී. එමෙන්ම නාවික පුද්ගලයින් හට සිය ප්‍රථිකාර මෙම රෝහල මඟින් ඉටු කර ගැනීමට කටයුතු කරන ලෙස ද එතුමන් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ලදී. එම අවස්ථාව සිහි කරනු වස් ආඥාපතිතුමා විසින් රෝහල් පරිශ්‍රයේ අඹ පැලයක් ද රෝපණය කරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු ප්‍රසන්න හේවගේ, ශ්‍රී ලංකා නාවික නෞකා මහානාඝ ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් නිශාන්ත රණවීර, වෛද්‍ය ලුතිනන් කොමාණ්ඩර් නිර්මල වික්‍රමසිංහ ඇතුළු ගිණිකොන නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් සහ නාවිකයින් පිරිසක් සහභාගී විය.